ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් සිල්වාට 'දැන් සුවයි'

කෞෂාල් සිල්වා
ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉරිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති පුහුණු තරඟයකදී පන්දුවක් හිසේ වැදීමෙන් අනතුරුව කෞෂාල් සිල්වා රෝහල්ගත කෙරිණ

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පුහුණු තරඟයක් අතරවාරයේ පන්දුවක් හිසේ වැදී රෝහල්ගත කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා ගේ සෞඛ්‍ය තත්වය ඉතාමත් සුව අතට හැරී තිබෙන බව ක්‍රිකට් බලධාරීහු පවසති.

ඔහු දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කොට තිබෙන අතර, අඟහරුවාදා වන විට ඔහුට රෝහලෙන් පිටව යාමට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා බලාපොරොත්තු පළ කළේය.

"ඒ වගේම මේ සුමානේ අන්තිම වෙන කොට ඔහුට පුහුණුවීම්වල යෙදෙන්න හැකි වේවි කියලත් අපි විශ්වාස කරනවා," මොහාන් සිල්වා බීබීසී සංදේශයට පැවසීය.

මහනුවර රෝහලේ සිට කොළඹ නවලෝක රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මුලින්ම CT ස්කෑන් පරීක්ෂණයකට භාජනය කෙරුණු කෞෂාල් සිල්වා, ඉන් අනතුරුව ස්නායු විශේෂඥ වෛද්‍යවරයකු විසින්ද පරීක්ෂා කර තිබේ.

"ඒ පරීක්ෂණ ඔක්කොම හොඳයි කියල අපිට දන්වල තියෙනව. හෙට උදේට තමයි අන්තිම වාර්තාව අපි බලාපොරොත්තු වෙන්නේ," මොහාන් සිල්වා වැඩිදුරටත් පැවසීය.