ධම්මික ප්‍රසාද් පළමු තරඟයෙන් ඉවතට

Image copyright Rex Features
Image caption ධම්මික ප්‍රසාද්

එළඹෙන බ්‍රහස්පතින්දාට එංගලන්තයේ හෙඩින්ග්ලී හි ආරම්භ වීමට නියමිත එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සහභාගී නොවන බවට ප්‍රකාශයක් නිකුත් කර ඇත.

පසුගිය සතියේ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවති පුහුණු තරඟයේදී තිස් දෙහැවිරිදි වියේ පසුවන ධම්මික ප්‍රසාද් සිය උරහිසේ අබාධයකට මුහුණ දීම තරඟයෙන් ඉවත් වීමට හේතු වී තිබේ.

බීබීසි ක්‍රීඩා පුවත් සේවයට සිය අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් කියා සිටියේ ඉතා ඉක්මනින් නැවතත් ධම්මික පිටියට කැඳවීමට සිය කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටින බවයි.

ඊයේ (ඉරිදා) පැවති ලෙස්ටර්ස්ෂෙයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා පුහුණු තරඟය අවසන් වූයේ ජය පරාජයකින් තොරවයි.

මින් වසර දෙකකට පෙර හෙඩින්ග්ලී හි පැවති එංගලන්ත ටෙස්ට් තරඟාවලියේදී එංගලන්තයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුලු පහක් දවා ගැනීමට වේග පන්දු යවන ධම්මික ප්‍රසාද් සමත් විය.