'අත්දැකීම් නැති කොලු ගැටයන්ට එරෙහිව පරිනතයන්ගේ තරඟයක්'

Image caption එංගලන්තයේ හිටපු පිතිකරු ජෙෆ්රි බෝයිකොට්

ශ්‍රී ලංකා පිල ඉනිමක පරාජයකට ලක් කරමින් එංගලන්ත පිල කළ සටන එංගලන්තයේ හිටපු පිතිකරු ජෙෆ්රි බෝයිකොට් හඳුන්වන්නේ 'කොලු ගැටයන්ට එරෙහිව පරිනතයන්' කළ සටනක් ලෙසිනි.

එංගලන්ත පිලේ පරිනත 'මිනිසුන්ගේ' පන්දු වලට ශ්‍රී ලංකා පිලේ අත්දැකීම් විරහිත ළාබාලයන්ට මුහුණ දීමට සිදු වූ බවයි ඔහු පවසන්නේ. ("men versus boys")

'ඇන්ඩර්සන් සහ බ්‍රෝඩ් ක්‍රීඩා කළේ ඔවුන්ට වාසි සහගත තත්වයන් යටතේ. ශ්‍රී ලාංකිකයන්ට අත්දැකීම් නැහැ.' ප්‍රවීණ ක්‍රීඩා විචාරක ජෙෆ්රි බෝයිකොට් පවසයි.

Image caption ජේම්ස් ඇන්ඩර්සන්

මෙම තරඟයේ දී ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් විසින් කඩුලු 15ක් දවා ගන්නා ලදී.

පැවතුණු තත්වයන් හමුවේ එවැනි පරිනත පන්දු යවන්නන් දෙදෙනකු ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කොහොමටත් අපහසුතාවයට පත්වන බවයි ජෙෆ්රි බෝයිකොට් කියා සිටියේ.

මීළඟ තරඟය ගැන අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පන්දුවේ දෝලනය මත සියල්ල රඳා පවතින බවයි.

Image caption ස්ටුවර්ට් බ්‍රෝඩ්

'මම හිතන්නේ නැහැ ඒ තරම් හිරු එළියක් වැටේවි කියල. එතකොට ශ්‍රී ලංකා පිලට හිතන්න සිද්ද වෙනවා පන්දුව එතරම් දෝලනය වෙන එකක් නැහැ කියල. නමුත් පන්දුව මේ තරඟයේ දී දෝලනය වූ ප්‍රමාණයෙන් ම දෝලනය වුනොත් ලංකාව පරදිනවා.' ඔහු පැවසීය.

Image caption 'අපිට හොඳ පිතිකරුවන් හත් දෙනෙක් සිටිනවා. ඒත් අත්දැකීම් විරහිතයි.'

ප්‍රවීනයන් දෙදෙනෙකුගේ නික්ම යාමත් සමඟ ශ්‍රී ලංකා පිල අත්දැකීම් වලින් පොහොසත් නොවන බව නායක ඇන්ජෙලෝ මැතිව්ස් ද පිළිගෙන තිබේ.

'අපිට හොඳ පිතිකරුවන් හත් දෙනෙක් සිටිනවා. ඒත් අත්දැකීම් විරහිතයි.' මැතිව්ස් පවසයි.