එවරස්ට් කඳු නගින්නිය සුරක්ෂිතව යළි පැමිණෙයි

ජයන්ති කුරු උතුම්පාල එවරස්ට් කන්දේ Image copyright Jayanthi Kuru-Uthumpala
Image caption ජයන්ති කුරු උතුම්පාල එවරස්ට් කඳු මුදුන බලා යද්දී (සංරක්ෂිත ඡායාරූපයක්)

එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වූ ජයන්ති කුරු උතුම්පාල සුරක්ෂිතව නේපාලයේ කත්මන්ඩු අගනුවරට ලඟා වී සිටින්නීය.

මීට සති කිහිපයකට ඉහත දී යොහාන් පීරිස්ද සමඟ එවරස්ට් තරණය ආරම්භ කළ ජයන්ති, පසුගිය සෙනසුරාදා එවරස්ට් කඳු මුදුනට ළඟාවීමට සමත් වූවාය.

එහෙත් ඇය සමඟ කඳු මුදුනට ආසන්නයටම ලඟා වූ යොහාන් පීරිස්ට අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් සිය අපේක්ෂාව ඉටු කර ගත නොහැකි වූ බව ජයන්ති කුරු උතුම්පාල බීබීසී සංදේශයට සනාථ කළාය.

"අපරාදේ එයාට තව මීටර් සිය ගාණක් විතරයි තිබුණේ," යනුවෙන් සඳහන් කළ ඇය, ඒ මොහොතේ වැඩිදුර විස්තර හෙළි කළ නොහැකි බවත් කියා සිටියාය.

Image copyright Jayanthi Kuru-Uthumpala
Image caption එවරස්ට් කඳු මුදුනට ළඟාවීමට යොහාන් පීරිස් අපොහොසත් වී තිබේ (සංරක්ෂිත ඡායාරූපයක්)

මේ වසරේ එවරස්ට් කන්ද තරණය කිරීමට උත්සාහ කළ තිදෙනකුවත් පසුගිය දින කිහිපය තුල මරණයට පත් වී තිබේ.

ඉන්දීය ජාතික සුභාෂ් පෝල් මියගොස් තිබෙන්නේ කන්ද තරණය කොට ශර්පා ජාතික මඟ පෙන්වන්නේකුගේ ආධාරයෙන් ආපසු බසිමින් සිටියදී.

ඔහු සමඟ සිටි තවත් ඉන්දීය කඳු නගින්නන් දෙදෙනෙක් කඳු මුදුන ආසන්නයේදී අතුරුදහන් වූහ.

නෙදර්ලන්ත ජාතිකයකු සහ ඕස්ට්‍රේලියානු කාන්තාවක්ද කන්ද මුදුනේ පීඩනය දරාගත නොහැකිව මරණයට පත් විය.

මේ වසරේ එවරස්ට් තරණය කිරීමේ වසන්ත කාල සටහන නිමා වෙද්දී තවත් තිස් දෙනකු පමණ රෝගාබාධවලට ගොදුරු වූහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර