රෝහණ විජේවීරගේ සමීප සගයෙක් අවසන් ගමනේ

ඡායාරූප මූලාශ්‍රය, BBC Sinhala
රෝහණ විජේවීර සමඟ මැයි පෙළපාලියකට සහභාගි වන දයා වන්නිආරච්චි
ජනතා විමුක්ක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සමඟ සමකාලීනව දේශපාලන කටයුතු වල නිරතව සිටි දයා වන්නිආරච්චි වීරකැටියේදී අවසන් ගමන් ගියේය.
දියණියන් තිදෙනකුගේ පියෙකු වූ 68 හැවිරිදි දයා වන්නිආරච්චි විජේවීරගේ සමීප මිතුරෙකු වූ අතර, ජනතා විමුක්ති පෙරමුණේ පළමු පරපුරේ නායකයන් අතරින් කෙනෙකි.
1979 දී පමණ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් ඔහු තෝරා ගන්නා නමුත් වසර තුනකට පමණ පසුව අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ඔහු එම පදවියෙන් ඉල්ලා අස් විය.
වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටියදී ඉතා දක්ෂ ශිෂ්‍යයෙකු වූ දයා වන්නිආරච්චි ගුරුවරුන් විසින් හඳුන්වණු ලැබ තිබෙන්නේ 'මාස්ටර්' යනුවෙන් බව රාහුල් සමන්ත හෙට්ටිආරච්චි හම්බන්තොට සිට වාර්තා කරයි.
ඡායාරූප මූලාශ්‍රය, BBC Sinhala
රෝහණ විජේවීර සමඟ මැයි පෙළපාලියකට සහභාගි වන දයා වන්නිආරච්චි
ඒ අතරවාරයේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී ඇති සිය සොහොයුරාට පක්ෂයේ අනෙක් නායකයන් සමහරෙකු මුණගැසුනේ 71 කැරැල්ලෙන් පසුව අට වසරක් සිරගතව සිටින අතරවාරයේ බව ඔහුගේ බාල සොහොයුරකු වන හසන්ත වන්නිආරච්චි පැවසීය.
"අයියා වැලිකඩ ඉන්නකොට තමයි සෝමවංශ අමරසිංහ හමුවෙලා තියෙන්නේ. ඒ වෙනකොට රෝහණ විජේවීරත් වැලිකඩ සිරභාරයේ සිටියේ," හසන්ත වන්නිආරච්චි පැවසීය.
"අයියටයි, සෝමවංශ අමරසිංහටයි රෝහණ විජේවීර කානුවක බටයකින් කතා කර කර ස්පාඥ භාෂාව ඉගැන්වූ බව අයියා කියල තිබුණ."
බන්ධනාගාරයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව පුර්ණ කාලීන දේශපාලන කටයුතු වල නිරතව සිටි දයා වන්නිආරච්චි රෝගී තත්වය හේතුවෙන් පසුව දේශපාලනයෙන් ඉවත්විය.
මිය යනවිට ඔහු නිදහස් ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.