තරඟ පාවා දීම: අයිසීසීයේ 'පරීක්ෂණයක් නැහැ'

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර Image copyright www.cm.nw.gov.lk
Image caption 'කට උත්තරයක් ලබා දීම ක්‍රීඩකයන්ගේ සුභසිද්ධිය සහ නිර්දෝෂීභාවය වෙනුවෙන් කළ දෙයක්.'

තරඟ පාවා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් පොලඹවා ගැනීමේ උත්සාහයක් පිළිබඳව ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පරීක්ෂණයක් නොපැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ තරඟ පාවාදීමේ උත්සාහයක් පිළිබඳව ජගත් පාලක මණ්ඩලය විසින් පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ ශ්‍රී ලංකා පොලිසියටද පැමිණිලි කිරීම මගින් ක්‍රිකට් ක්‍රීඩකයන් මානසික පීඩනයකට ලක් කෙරුණ බවට ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් බීබීසී සංදේශය වෙත කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

කෙසේ වෙතත් පොලිස් මූල්‍ය විමර්ශන කොට්ඨාශය ඒ සම්බන්ධයෙන් ජගත් පාලක මණ්ඩලයේ බලධාරීන් හා සාකච්ඡා කළ යුතුව තිබෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එම සාකච්ඡාවලින් අනතුරුව පරීක්ෂණ අවසාන වනු ඇති බවත් අමාත්‍යවරයා සංදේශයට කියා සිටියේය.

රංගන හේරත් සහ කුසල් ජනිත් පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කොට පොලිස් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අවධාරණය කළේ.

'මේ ක්‍රීඩකයන් අදාළ කාරණය පිළිබඳ අපට දන්වපු නිසා අපි පොලිස් පරීක්ෂණ ආරම්භ කළා. කට උත්තරයක් ලබා දීම ඔවුන්ගේ සුභසිද්ධිය සහ නිර්දෝෂීභාවය වෙනුවෙන් කළ දෙයක්.'

එහෙත් අදාළ පරීක්ෂණය ක්‍රීඩකයන්ට මානසික පීඩාවක් ගෙන දෙන්නක් බැවින් එය නිමා වෙන්නේ කෙදිනක දැයි තමන් අවධානයෙන් සිටින බවයි රංගන හේරත් සංදේශයට කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය එංගලන්ත සංචාරය තුළ දැක්වූ පසුබෑමට දුර්වල සංවිධානයත් එක හේතුවක් බව ඇතැම් විචාරකයන්ගේ මතයයි.

එහෙත් කණ්ඩායමේ එංගලන්ත සංචාරය සංවිධානය කරන ලද්දේ පැවති අතුරු පාලක කමිටුව විසින් බැවින් සංවිධානයේ දුර්වලතා පිළිබඳව වගකිව යුත්තේ එම කමිටුව බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර