ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරය ගැන මුරලිගේ අනාවැකිය

Image copyright PA
Image caption "ශ්‍රී ලංකාව මේ දවස්වල හැම අංශයෙන්ම ටිකක් පසුබෑමක ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ තරඟාවලිය දිනාගන්න ඕස්ට්‍රේලියාවට ලොකු අවස්ථාවක් තියෙනවා"

මේ මාසයේ ආරම්භ වන ශ්‍රී ලංකා සංචාරයේ ටෙස්ට් තරඟාවලියේදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඉදිරියෙන් සිටින බව මුත්තයියා මුරලිදරන් පවසයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ කාලගුණ තත්වය ඕස්ට්‍රේලියානුවන්ට සම්පූර්ණයෙන්ම ආගන්තුක වූවක් බැවින්, එහි උපරිම වාසිය නෙලා ගැනීමට ශ්‍රී ලංකාව උත්සාහ කරනු ඇති බවත් ලොව වැඩිම ටෙස්ට් කඩුලු දවා ගෙන ලෝක වාර්තාවට හිමිකම් කියන ක්‍රීඩකයා පවසයි.

ගතව ගිය දශකය ඇතුලත ආසියානු උප මහාද්වීපයෙන් පිටත පිහිටි රටවලින් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරඟාවලියක් ජයග්‍රහණය කර තිබෙන්නේ කණ්ඩායම් දෙකක් පමණක් බවත් මුත්තයියා මුරලිදරන් සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ cricket.com.au වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින්.

"මෑත කාලෙදි ඕස්ට්‍රේලියාව හොඳින් ක්‍රීඩා කළා. ඒ නිසා පැහැදිලිවම ඔවුන් ඉදිරියෙන් ඉන්නවා," මුරලිදරන් පැවසීය.

උපදෙසක්

"අනිත් අතට ශ්‍රී ලංකාව මේ දවස්වල හැම අංශයෙන්ම ටිකක් පසුබෑමක ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ තරඟාවලිය දිනාගන්න ඕස්ට්‍රේලියාවට ලොකු අවස්ථාවක් තියෙනවා."

ශ්‍රී ලංකාවේ තණතිලි පිළිබඳව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට උපදෙසක් දෙන මුරලිදරන් පවසන්නේ, ශ්‍රී ලංකාවේ තණතීරු වේග පන්දු යවන්නන්ට වඩා දඟ පන්දු යවන්නන්ට වාසිදායක බවයි.

එබැවින් කණ්ඩායමට අඩුම තරමින් දඟ පන්දු යවන්නන් දෙදෙනකු යොදවා ගැනීමට ඕස්ට්‍රේලියාව පියවර ගත යුතු බව ඔහුගේ උපදේශයයි.

ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් පිතිකරුවකු වන තිලාන් සමරවීර වර්තමානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවකු ලෙස සේවය කරන අතර, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දිමිත්‍රි මැස්කරන්හස් වයස අවුරුදු 16 න් පහල ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් බඳවාගෙන තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර