'දේශපාලකයන්ට ක්‍රිකට් දොර වැසිය යුතුයි'

හිටපු අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි
ඡායාරූප ශීර්ෂ වැකිය,

හිටපු අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි

දේශපාලනඥයන් ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් කර තැබිය යුතු බවට නිර්දේශ කර ඇතත් එය තවමත් ක්‍රියාත්මක වී නොමැති බව හිටපු අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඉන්දීය ක්‍රිකට් පරිපාලනය පිළිබඳව එරට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් පිළිබඳව බීබීසීය විමසූ අවස්ථාවේදී යි.

ඉන්දීය ක්‍රිකට් පරිපාලනයට එරට දේශපාලනඥයන් සම්බන්ධවීම තහනම් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නේය.

ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට නම් ශ්‍රී ලංකාවේ ද එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බවයි හිටපු අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි ප්‍රකාශ කළේ.

'අපිත් කියල තියෙන්නේ දේශපාලනඥයන් ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් විය යුතුයි කියල. එදා කේ බී රත්නායක මහත්මයා ක්‍රීඩා අමාත්‍යංශය යටතට ක්‍රිකට් ගත්තේ එක්තරා ප්‍රශ්න වගයක් තිබුණු හින්දා. අද බැලුවොත් ක්‍රීඩා අමාත්‍යංශයේ ත් මැදිහත් වීම ගොඩක් වැඩියි. මේක වෙනස් විය යුතුයි කියලයි මම හිතන්නේ.' බීබීසීයේ සරෝජ් පතිරණ සමඟ සිදත් වෙත්තමුණි පැවසීය.

'අගමැති සතුටු වුනා'

ඡායාරූප ශීර්ෂ වැකිය,

'අගමැති තුමා කෙලින්ම කිව්වේ මේක අපි කළ යුතුයි කියල.'

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශපාලනඥයන් ඉවත් කර තැබිය යුතු බවට නිර්දේශයක් කලින් පැවති අතුරු කමිටුවේ සභාපති ලෙස කටයුතු කරද්දී සැකසූ නිර්දේශ වාර්තාවේ සඳහන්ව ඇති බවයි ඔහු පවසන්නේ.

'මම ඉස්සෙල්ලාම භාර දුන්නේ ක්‍රීඩා ඇමතිතුමාට. එතුමාත් ඒ වෙලාවේ කිව්වේ මේක හොඳයි කියල. අගමැතිතුමාට දුන්නාම එතුමා ගොඩක් සතුටු වුනා. අගමැති තුමා කෙලින්ම කිව්වේ මේක අපි කළ යුතුයි කියල.' හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි පැවසීය.

ක්‍රිකට් නිලවරණය සඳහා පවතින ඡන්ද ප්‍රමාණය කප්පාදු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

'ලංකාවේ ඡන්ද 147ක් තියෙනවා. ඔච්චර ලොකු රටක් වෙලා ඉන්දියාවේ තියෙන්නෙත් ඡන්ද 46යි. අපේ නිර්දේශ අනුව ලංකාවේ ඡන්ද ප්‍රමාණය තිහට අඩු වෙනවා.'

'අපේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නැත්නම් අපේ ක්‍රිකට් කවදාවත් ඉදිරියට ගෙනියන්න බැහැ කියලයි මම හිතන්න.' ඔහු තවදුරටත් පැවසීය.