ක්‍රිකට්: ශ්‍රී ලංකාව ලකුණු 117 කට දැවී යයි

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 117 කට දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු විස්සේ සීමාව ඉක්මවා යාමට සමත්වූයේ ධනංජය ද සිල්වා සහ කුසල් පෙරේරා පමණයි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් පළමු දිනයේ ඕවර 34 යි පන්දු දෙකකදී දැවී ගිය අතර, දැඩි වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 66 ක් රැස් කරගෙන සිටියේය.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර මුත්තයියා මුරලිදරන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීම පිළිබඳ උපදේශකයකු වශයෙන් ක්‍රියාකිරීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවාදයට බඳුන් වී පවතී.

Image copyright Saroj Pathirana
Image caption ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව "බොහොම මහන්සියක් දරල බේරගත්ත" ක්‍රීඩකයකු වන මුරලි සිය ප්‍රතිවාදීන්ට උපදෙස් දීමේ "අපේ කම සහ සදාචාරාත්මක කම" පිළිබඳව ගැටලුවක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසා තිබුණි.

එහෙත් එයට ප්‍රතිචාර දක්වමින් මුරලිදරන් බීබීසී සංදේශයට කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සහ පිටියෙන් පිටතදීත් කාලාන්තරයක් මුළුල්ලේ තමන් කළ මෙහෙය නොසලකා තමාගේ දින දහයක ක්‍රියාකලාපය හේතුවෙන් "ද්‍රෝහියෙකු බවට පත්කිරීම" පිළිබඳව කණගාටු වන බවයි.

සභාපතිවරයාගේ එම ප්‍රකාශය ක්‍රීඩාලෝලීන්ගේද දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් දෙදෙනකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනද මුරලිදරන්ගේ තීරණයට සහයෝගය පළකරමින් අදහස් දක්වා තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට අදාළ ප්‍රතිසංස්කරණ පිළිබඳව මීට ඉහතදී අදහස් දැක්වූ ක්‍රිකට් අන්තර්වාර කමිටුවේ හිටපු සභාපති සිදත් වෙත්තමුණි, දේශපාලකයන් ක්‍රීඩාවේ පරිපාලනයෙන් ඉවත් කළ යුතු අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන ක්‍රමයේද පූර්ණ වෙනසක් අවශ්‍ය බවත් අවධාරණය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර