අලි මිනිස් කරුණාව

අලි මිනිස් කරුණාව

හම්බන්තොට සූරියවැව මහ අලුත්ගංආර ප්‍රදේශයේ වගා ජලය ලබා ගන්නා වලක වැටී සිටි වයස අවුරුදු 30 ක පමණ ඇතින්නක හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු එක්ව බේරා ගනිති.

ප්‍රදේශවාසියකුගෙන් ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් සිකුරාදා සවස හතරට පමණ එම ස්ථානයට ගිය අතර පසුව ප්‍රදේශවාසියන්ගේද සහයෝගය ඇතිව පැය තුනක පමණ මෙහෙයුමකින් පසු ඇතින්න වලෙන් ගොඩ ගැනීමට හැකි වී තිබේ.

මේ දිනවල හම්බන්තොට ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණික තත්වය හමුවේ කැලෑ ප්‍රදේශ තුළ පිහිටි කුඩා වැව් සහ දිය ආරවල් සිඳී යාම හේතුවෙන් වන සතුන් ජලය සොයා නොයෙක් ප්‍රදේශ තුළ සැරිසරන බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීහු පවසති.

හම්බන්තොට ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා කැලෑ හෙලි පෙහෙළි කිරීම නිසා ජල මූලාශ්‍ර සිඳී ගොස් වන සතුන්ට ජලය හිඟ වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

ඒ හේතුවෙන් ගම් වදින වන අලින්ගෙන් ජීවිත තර්ජන එල්ල වන බවටත් සිය වගා විනාශ කරන බවටත් ප්‍රදේශවාසීන් මැසිවිලි නගන බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්ච් බීබීසී සිංහල සේවයට වාර්තා කළේ.

''මම පුංචි කාලේ ඉඳලා මෙහෙ ජීවත් වෙනවා. මට දහ වතාවක් විතර අලි ගහන්න හැදුවා. මගේ වගාවන්ට පැනල ඒවා කනවා. ඒත් කවදාවත් අපි අලින්ට හිංසා කරලා නෑ. මොකද මම දන්නවා උන්ට දැන් ඉන්න තැනක් නැති බව. හැම තැනම කැලෑ සුද්ද කරලා සංවර්ධනය කරනවා. එතකොට ඒ අලි ගම් වදිනවා.''

''මේ වලේ වැටුන අලියත් මීට දවස් දෙකකට කලින් මගේ වගාවට පැනලා වගාව කාලා මගේ පස්සෙනුත් එලවාගෙන අවා. ඒ සතා බේර ගන්න තමයි මම මේ උදව් කළේ'' ප්‍රදේශවාසියකු වන ඒ.පී නිහාල් කියා සිටියේය.