රියෝ 16;රුසියානු පැරා ඔලිම්පික් ක්‍රීඩකයන්ට තරඟ තහංචි

2014 Paralympic Winter Games Image copyright Getty Images
Image caption පහළොස් වැනි පැරා ඔලිම්පික් උළෙල රියෝ අගනුවරදී සැප්තැම්බරයේ ආරම්භ වීමට නියමිතයි

ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිත 'රියෝ 16' පැරා ඔලිම්පික් තරඟ සඳහා සහභාගී වීමට සූදානමින් සිටි රුසියානු ආබාධිත මළල ක්‍රීඩකයන්ට තරඟ තහනමක් පණවමින් ජාත්‍යන්තර ආබාධිත ඔලිම්පික් කමිටුව විසින් ගනු ලැබූ තීන්දුව රුසියාව විසින් කෝපයෙන් යුතුව හෙළා දකිනු ලැබ ඇත.

ජාත්‍යන්තර ආබාධිත ඔලිම්පික් කමිටුව විසින් ඉහත කී තීන්දුව ගනු ලැබුණේ රුසියානු ආබාධිත මළල ක්‍රීඩකයන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව තහනම් උත්තේජක ලබා ගත් බවට එල්ල වූ චෝදනා පදනම් කර ගෙනයි.

රුසියානු විදේශ අමාත්‍යවරයා විසින් එම තීන්දුව හඳුන්වනු ලැබුවේ 'අමානුෂික ක්‍රියාවක්' ලෙසයි.

රුසියාවට සතුරු පාර්ශව විසින් එම තීන්දුව ගනු ලැබ ඇති බවයි මොස්කව් පුවත් පත් වාර්තා කොට තිබුණේ.

ජාත්‍යන්තර ආබාධිත ඔලිම්පික් කමිටුව විසින් ගනු ලැබූ තීන්දුවට එරෙහිව රුසියාව අභියාචනයක් ගොනු කොට ඇත.

රුසියානු ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ තහනම් උත්තේජකවලට එරෙහිව පවතින ආයතනික පද්ධතිය දූෂිත වූවක් බවයි ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති ශ්‍රීමත් පිලිප් ක්‍රේවන් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර