ටෙස්ට් තරඟ සඳහා තිලංගගෙන් යෝජනාවක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දින හතරේ ටෙස්ට් තරඟ: ශ්‍රී ලංකාවෙන් යෝජනාවක්

  • 2016 සැප්තැම්බර් 7

ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අයත් ප්‍රථම කණ්ඩායම් 07 වෙනම කාණ්ඩයක් ලෙසත් සෙසු කණ්ඩායම් 05 වෙනම කාණ්ඩයක් ලෙසත් ක්‍රීඩා කළ යුතු බවට වන යෝජනාවට ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්ත හා දකුණු අප්‍රිකාව යන රටවල ක්‍රිකට් පාලක මණ්ඩල සහාය පළ කරති.

ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් කාණ්ඩ දෙකකට වෙන් කිරීමට ගන්නා උත්සාහයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරම්භයේදීම සිය විරෝධය පළ කර තිබිණි.

ඉන්දියාව සහ බංගලාදේශය යන රටවල ක්‍රිකට් පාලක මණ්ඩලද ඉහත කී යෝජනාවට විරෝධය පළ කර සිටිති.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ සතියේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව 'ක්‍රික්ඉන්ෆෝ' වෙබ් අඩවිය වාර්තා කරයි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තරඟකාරිත්වයක් ඇති කිරීම මෙන්ම මූල්‍ය ගැට‍ළු වළක්වා ගැනීම යෝජනාව ඉදිරිපත් කිරීමට හේතු පාදක වී තිබේ.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට හේතු දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පෙන්වා දෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පදනම වන සමානාත්මතාවය අදාළ යෝජනාව හරහා බිඳ වැටෙන බවයි.

'ක්‍රීඩාවේ සමානාත්මතාව'

"අපිට පළමු කණ්ඩායම් හතේ රැඳී ඉන්න එක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් මේක වැරදියි. ටෙස්ට් කණ්ඩායම් දහයම සම වෙන්න ඕනේ."

මූල්‍යමය ගැට‍ළු මුල් කර ගනිමින් මෙවැනි යෝජනා ඉදිරිපත් වන බව කියා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා, එම ගැට‍ළු මග හරවා ගැනීම සඳහා මේ ආකාරයෙන් කාණ්ඩ දෙකකට කණ්ඩායම් වෙන් නොකොට සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරඟ සඳහා යොමුවීම විසඳුමක් වශයෙන් යෝජනා කරයි.

"අපි කියන්නේ දවස් හතරේ ටෙස්ට් තරග. දැන් දිවා රාත්‍රී තරඟ තියන්න පුළුවන් ඒ නිසා ඕවර සීයක්වත් දිනකට යවන්න පුළුවන්. බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා තරග පැවැත්වූ විට හොඳ පිරිසක් තරඟ නරඹන්නත් එනවා. මොකද සති සති අන්තයේ තරඟ තීන්දුව එන නිසා."

(ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල සමඟ බීබීසීයේ අසාම් අමීන් සිදු කළ සම්පූර්ණ සාකච්ඡාව ඉහත වීඩියෝ පටයේ නරඹන්න.)