තාක්‍ෂණය තිබුණා නම් පදක්කම් හතරක්වත් ගන්නවා - දිනේෂ්

Image copyright Getty Images
Image caption එන්න අපිත් එක්ක එකතුවෙන්න. අපිට එකතුවෙලා ලොකු ජයග්‍රහණ ලබාගන්න පුළුවන් - පැරාලිම්පික් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත්

ශ්‍රී ලංකාවේ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිසි තාක්ෂණයෙන් පොහොසත්ව සිටියේ නම් තවත් පදක්කම් කිහිපයක් දිනා ගැනීමට හැකියාව තිබුණු බව රියෝ පැරාලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් පවසයි.

විශ්‍රාමික යුද හමුදා සෙබළකු වන දිනේෂ් ප්‍රියන්ත රියෝ උළෙලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ පැරාලිම්පික් පදක්කමක් දිනාගත් දෙවැනි ක්‍රීඩකයා බවට පත්විය.

කෙසේ නමුත් අමරා ඉන්දුමතී සහ අනිල් ප්‍රසන්න ජයලත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනාත් ලෝකඩ පදක්කම ආසන්නයටම පැමිණි බවයි, බ්‍රසීලයේ රියෝ නුවර සිට බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ලෝකඩ පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්ත පෙන්වා දෙන්නේ. (සාකච්ඡාවට සවන්දෙන්න)

"ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ම අවසාන තරඟය දක්වා පැමිණියා. මම හිතන්නේ අනිත් රටවල තාක්ෂණය පැත්තෙන් බලපුවහම ඇත්තටම අපේ ක්‍රීඩකයො දක්ෂයි කියල මට හිතෙනවා."

උසස්වීමක් නෑ?

තමන් සමඟ තරඟ වැදුණු වෙනත් බොහෝ රටවල ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් තාක්ෂණය අතින් 'ඉතාමත්ම ඉහලින් සිටින' බවත් ඔහු පැවසීය.

"ඇත්තටම අපිට පදක්කම් හතර පහකට යන්න හැකියාවක් තිබුණා. අපේ රට පුංචි රටක්. ඒ නිසා ලැබුන ජයග්‍රහණ ගැන අපි සතුටු වෙන්න ඕන," දිනේෂ් ප්‍රියන්ත හේරත් සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

සමස්තයක් වශයෙන් ජනාධිපතිවරයා, ක්‍රීඩා අමාත්‍යවරයා සහ යුද හමුදා බලධාරීන් සිය කණ්ඩායම වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදුන් බවත් ඔහු කෘතවේදීව සිහිපත් කළේය.

2012 ලන්ඩන් ආබාධිත ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවේ පළමු පැරාලිම්පික් පදක්කම දිනා ගත් ප්‍රදීප් සංජයට හමුදාව විසින් උසස්වීමක් සහ මුදල් ත්‍යාගයක්ද ප්‍රදානය කෙරිණි.

'එකමුතුව ඉදිරියට යමු'

එහෙත් හමුදාවෙන් විශ්‍රාම ගෙන තිබීම හේතුවෙන් උසස්වීමක් නොලැබෙනු ඇති බවට පල වන මාධ්‍ය වාර්තා පිළිබඳව විමසූ අවස්ථාවේ දිනේෂ් ප්‍රියන්ත කියා සිටියේ මෙතෙක් තමන්ට සියලු පහසුකම් ලබාදුන් හමුදා බලධාරීන් තමන්ට අසාධාරණයක් නොකරනු ඇතැයි යන්න සිය විශ්වාසය බවයි.

'සැඟවී නොසිට' ඉදිරියට පැමිණ රටේ ඉදිරි ගමන වෙනුවෙන් එකමුතුව ක්‍රියාකරමුයි පැරාලිම්පික් පදක්කම්ලාභියා ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ආබාධිතයන්ගෙන් ඉල්ලීමක් කරයි. (සාකච්ඡාවට සවන්දෙන්න)

"එන්න අපිත් එක්ක එකතුවෙන්න. අපිට එකතුවෙලා ලොකු ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්."

ආබාධිතයන්ගේ ගැටළු කෙරෙහි අතීතයේදීට වඩා වර්තමානයේ ශ්‍රී ලංකා සමාජයේ අවධානය පල වී තිබෙන්නේය යන්න සිය විශ්වාසය බවත් ඔහු පැවසීය.

රියෝ ද ජැනෙයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගනයේ පැවති අති උත්කර්ශවත් සමාප්ති උළෙලකින් අනතුරුව 2016 පැරාලිම්පික් උළෙල ඉරිදා රාත්‍රියේ නිමාවට පත්විය.

බීබීසී යෙන්