මුරලි සාම කුසලානය: නාලන්දාව පරදා මහින්දයට ජය

ජයග්‍රාහක මහින්ද විද්‍යාල කණ්ඩායම Image copyright Muali Harmony Cup

කිලිනොච්චියේ පැවැත්වුන මුරලි සාම කුසලානයේ අවසාන මහා තරඟයේදී කොළඹ නාලන්දා විද්‍යාලය පරාජය කරමින් කුසලානය දිනාගැනීමට ගාල්ලේ මහින්ද විද්‍යාලය සමත්විය.

මහින්ද විද්‍යාලය මුරලි කුසලානය දිනාගත් ප්‍රථම වතාව මෙයයි.

මුලින් පන්දුවට පහරදුන් නාලන්දා කණ්ඩායම නියමිත ඕවර විස්සේදී රැස් කළ ලකුණු 117 ඕවර 16 යි පන්දු හතරකදී හඹා යාමට මහින්ද ක්‍රීඩකයෝ සමත්වූහ.

නොදැවී ලකුණු 49 ක් රැස් කළ මහින්ද විද්‍යාලයේ නායක වැලිහිඳ අවසාන මහා තරඟයේ සහ තරඟාවලියේ වීරයා ලෙසින් නම් කෙරුණි.

Image copyright Murali Harmony Cup

මේ අතර කාන්තා අවසාන මහා තරඟයෙන් පිට පිට දෙවැනි වතාවටත් ජයග්‍රහණය අත්කර ගැනීමට නිට්ටඹුව කාන්තා විද්‍යාලයේ ක්‍රීඩිකාවෝ සමත්වූහ.

නියමිත පන්දු ඕවර විස්ස අවසානයේ මාතලේ මහා විද්‍යාලය රැස් කළ ලකුණු 85 පන්දු ඕවර 15 යි පන්දු හතරකදී හම්බයාමට ඔවුහු සමත්වූහ.

තරඟයේදී ලකුණු 26 ක් රැස් කළ පී රණබාහු තරඟයේ වීරයා සම්මානය දිනාගත්තාය.

පසුගිය සැප්තැම්බර් 21 වැනි දින සිට සැප්තැම්බර් 25 දක්වා මුරලි සාම කුසලානය යාපනය, ඔඩ්ඩුසුඩාන්, මාන්කුලම් සහ කිලිනොච්චි නගරවල පැවැත්විණි.

ජාතීන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම අරමුණ කොට ගත් මුරලි සාම කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වුනේ පස් වන වරටයි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්