පිළිකා රෝහලක් ඉදිකිරීමේ පාගමනට මහේලගෙන් ආරාධනා

  • 2016 ඔක්තෝබර් 3
Image copyright Twitter

ගාල්ලේ කරාපිටිය රෝහලට යාබදව පිළිකා රෝහලක් ආරම්භ කිරීමේ අරමුණින් දියත්වන පාගමනට එක්වන්නැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සියලු ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලීමක් කරයි.

මීට වසර කිහිපයකට ඉහතදී මෙවැනි පාගමනකින් රැස් කළ අරමුදලින් යාපනයේ තිලිප්පලේ ප්‍රදේශයේ පිළිකා රෝහලක් ඉදි කළ බව බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය ඔස්සේ සජීවී සංවාදයකට එක්වෙමින් පෙන්වා දුන් ඔහු, ඒ සඳහා මෙවර උතුරේ සිට දකුණ දක්වා පාගමනක් යෙදීම සිය අපේක්ෂාව බව පෙන්වා දුන්නේය.

බ්‍රහස්පතින්දා සිට දින 28 ක් මුළුල්ලේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පැවැත්වෙන සම්පූර්ණ පාගමනට එක්වීම සිය අපේක්ෂාව බවත් ඔහු සඳහන් කළේය.

'මිලියන 700 ක්'

පිළිකාව යනු සුව කළ නොහැකි රෝගයක් නොවූවත් ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම පාහේ එහි වේදනාව අත්දකින්නට සිදු වී ඇති හෙයින් 2011 පැවති පාගමනට බාල, මහලු විශාල පිරිසකගේ සහයෝගය ලැබුණු අන්දමත් සිහිපත් කළේය.

"අපට ලබා දෙන හැම සතයක්ම ඒ ඉස්පිරිතාලෙට අපි යෙදෙවුවේ. ඒක නිසා තමයි අවුරුදු හතරක් ඇතුලත අපිට ඒක ඉවර කරලා ප්‍රතිකාර ආරම්භ කරන්න පුළුවන් වුනේ," ඔහු සඳහන් කළේ සංදේශයේ අසාම් අමීන් සමඟ සජීවී සාකච්ඡාවේදී.

මේ වසරේත් TrailSL පුණ්‍යායතනය සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමඟ එක්ව දියත් කරන මේ ව්‍යාපෘතියට සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ සහයෝගය ලැබෙනු ඇතැයි මහේල ජයවර්ධන බලාපොරොත්තු පළ කළේය.

කරාපිටියේ පිළිකා රෝහල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 700 ක පමණ මුදලක් රැස් කිරීම පාගමනේ අරමුණයි.

එයින් රුපියල් මිලියන 150 ක පමණ මුදලක් සිය අරමුදල වෙනුවෙන් දැනටමත් ලැබී තිබෙන බව සඳහන් කළ මහේල, සියලු දෙනාගේ ආධාරයෙන් ඒ අරමුණ සාක්ෂාත් කරගත හැකි වනු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවත් වැඩිදුරටත් පැවසීය.

සබැඳි විෂයයන්