ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කළමනාකරුවන් දෙදෙනෙක්?

ශ්‍රී ලංකා ක්‍රිකට්

ලබන වසරේ සැප්තැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වශයෙන් චරිත් සේනානායකට ස්ථිර පත්වීමක් දී තිබියදී, දකුණු අප්‍රිකානු සංචාරය සඳහා හදිසියේම තවත් කළමනාකරුවකු පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ මන්දැයි ක්‍රීඩා ලෝකයේ සංවාදයට බඳුන් වී පවතී.

දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සියලු කටයුතු සැලසුම් කර තිබියදී, කළමනාකරු වශයෙන් රංජිත් ප්‍රනාන්දු පත්කරන ලද බව සංචාරයට දින දෙකකට කලින් හදිසියේම තමන්ට දැනුම් දුන් බව චරිත් සේනානායක බීබීසී සංදේශය කළ විමසීමකදී තහවුරු කළේය.

කළමනාකාර පදවිය 'වරින්වර වෙනස් කිරීමේ' අවශ්‍යතාවය එයට හේතුව වශයෙන් දැනුම් දී තිබුණ බවත් ඔහු සඳහන් කළේය.

ඒ වනවිට ඔහු සහ බිරිඳ දකුණු අප්‍රිකාව බලා යාම පිණිස පමණක් නොව දකුණු අප්‍රිකාව තුල ක්‍රීඩාංගන බලා යාම පිණිසත් ගුවන් ප්‍රවේශපත් පවා මිලදී ගෙන සිටි බව සංදේශයට අනාවරණය වේ.

Image copyright Getty/LAKRUWAN WANNIARACHCHI

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දකුණු අප්‍රිකානු සංචාරය සඳහා රංජිත් ප්‍රනාන්දු පත්කිරීමත් සමග කණ්ඩායමේ කළමනාකරුවන් වශයෙන් දෙදෙනකු මේ වනවිට වැටුප් ලබන අතර, චරිත් සේනානායක 'කාර්ය නියමයක් නොමැති' කළමනාකරුවාය.

තමන් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයකු බැවින් මේ මොහොතේ වැඩිදුර විස්තර හෙළි කළ නොහැකි බව චරිත් සේනානායක සංදේශයට පැවසීය.

චරිත් සේනානායක පසුගිය අප්‍රේල් මාසයේදී කණ්ඩායමේ කළමනාකරු වශයෙන් වැඩ භාරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට පිට පිටම ටෙස්ට් තරග පහක් ජයග්‍රහණය කළ අතර, සිම්බාබ්වේහි පැවති එක් දින තුන් කොන් තරගාවලිය ජයග්‍රහණය කරනු ලැබුවේ ඔහුගේ සේවා කාලය තුළදීය.

පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් සහ සේනානායක සුසංයෝගය යටතේ 'One Team, One Nation' ලෙසින් එකමුතුව බොහෝ ජයග්‍රහණ දිනා ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

මේ පිළිබඳව විමසීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සහ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ඇමතීමට බීබීසී සංදේශය කිහිපවතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්