කාන්තා ජගත් කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ශ්‍රී ලංකාවේ

කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග Image copyright ICC

ලබන වසරේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ජගත් කුසලානයට සුදුසුකම් ලැබීම පිණිස කණ්ඩායම් දහයක් ලබන පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේදී තරග වදිති.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ තායිලන්තය 'ඒ' කාණ්ඩයෙන් තරග වදින අතර, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය, ස්කොට්ලන්තය සහ පැපුවා නිව් ගිනියාව 'බී' කාණ්ඩයට අයත් වේ.

ලබන පෙබරවාරි හත් වැනි දින ශ්‍රී ලංකාව මුලින්ම ඉන්දියාවට එරෙහිව කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගනයේදී තරග වදින අතර, තවත් තරග තුනක් එදිනම පැවැත්වේ.

පෙබරවාරි 13 වැනි දින මූලික වටයේ තරග අවසන් වන අතර පෙබරවාරි 15 වැනි දින 'සුපර් සික්ස්' වටය ආරම්භ වේ.

සුපර් සික්ස් වටයේ මුල් ස්ථාන හතර දිනාගන්නා කණ්ඩායම් ලෝක කුසලානයට තරග වැදීමට සුදුසුකම් ලබති.

අයිසීසී කාන්තා ශූරතාවලියේ පළමු ස්ථාන හතර හොබවන එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙවු සහ නවසීලන්තය ලබන ජුනි මාසයේ එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ජගත් ක්‍රිකට් කුසලානය සඳහා දැනටමත් සුදුසුකම් ලබා සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්