ජනපති මෛත්‍රීට ජාත්‍යන්තර සම්මානයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වකුගඩු රෝග නිවාරණය: ජනපති මෛත්‍රීට ජාත්‍යන්තර සම්මානයක්

ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට හේතු වී ඇති හඳුනා නොගත් කරුණු සොයා ගැනීම පිණිස වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානයේ සහාය හිමි වී තිබෙන බව වකුගඩු රෝග නිවාරණය සඳහා කටයුතු කරන ගාඩිනර් පදනම පවසයි.

ශී‍්‍ර ලංකාවේ අසරණ වකුගඩු රෝගීන්ගේ සුබසිද්ධිය උදෙසා දියත් කෙරෙන වැඩසටහන් වෙනුවෙන් සිය සහාය ලබාදෙන බවත් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය නිවේදනය කළේය.

සඳුදා සවස කොළඹ පැවති විශේෂ උත්සවකදී ඒ බව නිවේදනය කළ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය, ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය උදෙසා ඉටුකරන මෙහෙවර අගය කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට විශේෂ සම්මානයක්ද පුද කළේය.

උත්සවය අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ රටේ දුගී දුප්පත් අසරණ ජනතාවට දශක දෙකකට වැඩි කාලයක් පුරා මුහුණදීමට සිදුව ඇති මෙම ව්‍යසනයෙන් ඔවුන් ගලවා ගැනීම සඳහා දිගු ගමනක් යා යුතුව තිබෙන බවයි.

ඒ සඳහා සියළු දෙනාගේ සහය බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

උත්සවය අතරතුර බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ ගාඩිනර් පදනමේ චන්ද්‍රා මොහොට්ටි, වකුගඩු රෝගයට මුහුණ දෙන පළාත් වලට පිරිසිදු පානීය ජලය ලබාදීමෙන් මෙම ප්‍රශ්නයට විසදුමක් සොයා ගත හැකි යයි මුලදී විශ්වාස කළ නමුත්, රෝගයට මූලික වී ඇති හේතු කරණා සොයාගැනීමේ වැදගත්කම මේ වනවිට අවබෝධ කරගෙන සිටින බවයි.

එබැවින් ඒ සඳහා වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානයේ සහය ලබාගැනීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය.

සබැඳි විෂයයන්