දේශීය යාන්ත්‍රණයක් ගැන 'වින්දිතයන්ගේ විශ්වාසයක් නෑ'

වින්දිතයන්ගේ ඥාතීන් කාර්ය සාධක බලකාය ඉදිරියේ අදහස් දක්වමින්
Image caption වින්දිතයන්ගේ ඥාතීන් ඇතුළු 7000 කට අධික පිරිසක් කාර්ය සාධක බලකාය ඉදිරියේ අදහස් දැක්වූහ

යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයක් මගින් තමන්ට සාධාරණය ඉටු වනු ඇතැයි වින්දිතයන්ගේ කිසිදු විශ්වාසයක් නැති බව සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය අවධාරණය කරයි.

එබැවින් සිය නිර්දේශ ක්‍රියාවට නගන මෙන් ආණ්ඩුවට බලකිරීම සිවිල් සමාජයේ වගකීම බවත් කාර්ය සාධක බලකායේ ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු බීබීසී සංදේශයට පැවසීය.

ආචාර්ය සරවනමුත්තු ඒ බව කියා සිටියේ එම චෝදනා පරීක්ෂා කරන විනිසුරු මඬුල්ල සඳහා එක් විදේශීය විනිසුරුවකුවත් අසුන් නොගන්නා බවට අමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළකරමිනි.

"උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අපිට කියනවා, අධිකරණය ගැන විශ්වාසය තියන්න පුලුවන්ද කියල. පක්ෂපාතීද, විශ්වාසවන්තද, ඒ වගේ සැක ගොඩක් තියෙනව," ඔහු පැවසීය.

"වගවීම සොයාගන්න යාන්ත්‍රණයක් පිහිටුවන්න යනවා නම්, දේශීය මට්ටමෙන් පමණක් පිහිටුවනවා නම් විශ්වාසයක් නෑ. වගවීම සොයන්න යනවා නම් විශ්වාසයක් තියෙන්න ඕනනේ. ස්වාධීනත්වයක් තියෙන්නේ ඕනනේ."

Image copyright Nibojan
Image caption අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් ඉල්ලමින් උතුරේ වැසියෝ උද්ඝෝෂණද දියත් කළහ

කාර්ය සාධක බලකාය මිශ්‍ර අධිකරණයක අවශ්‍යතාවය අවධාරණය කළේ එබැවින් බවයි, ආචාර්ය සරවනමුත්තු සංදේශයට කියා සිටියේ.

"අපි උතුරේ මිනිස්සුන්ට කථා කළා. දකුණේ මිනිස්සුන්ට කථා කළා. ඒගොල්ලන්ගේ තොරතුරු උඩ තමයි අපි ඒ නිර්දේශ ඉදිරිපත් කළේ."

"යුධ අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වැනි ජාත්‍යන්තර අපරාධ මෙන්ම වධ බන්ධනයට ලක් කිරීම, අතුරුදහන් කරවීම හා දූෂණය කිරීම් වැනි බරපතල මානව හිමිකම් අපහරණය යනාදියට සමාව දීම නීති විරෝධී වන අතර පිළිගත නොහැකිද වේ," යනුවෙන්ද කාර්ය සාධක බලකාය නිර්දේශ කරයි.

ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ කාර්ය සාධක බලකායේ ලේකම්වරයා කියා සිටියේ ඇතැම් අපරාධවලට අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දිය යුතු බව ජාත්‍යන්තර තලයේ පවා පිළිගැනීම බවයි.

Image copyright Consultation Task Force
Image caption කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසමින්

"වරදක් කරලා තියෙනව නම්, සාක්ෂි තියෙනව නම්, ඒ සුදුසු පියවර ගන්න ඕනේ."

විදේශීය විනිසුරන් අවශ්‍ය නැතැයි ආණ්ඩුව දරන මතයට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාද අනුමැතිය පළ කළ බවට අමාත්‍ය රාජිත සේනාරත්න කරන ප්‍රකාශයද ගැටළු සහගත බව ආචාර්ය සරවනමුත්තු පවසයි.

"මම නම් දන්නේ නෑ කොහෙද මේක කියල තියෙන්නේ කියලා."

කිසියම් කමිටුවක සාමාජිකයන් ලෙසින් පත්වූ පමණින් ඔවුන් 'බුද්ධිමතුන්' ලෙස පිළිගත නොහැකි බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

එහෙත් ඇමතිවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව තමන්ට කිසිදු ප්‍රතිචාරයක් දැක්විය නොහැකි බව ආචාර්ය සරවනමුත්තු බීබීසී සංදේශයට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර