නව ජවයකින් තරග කරනවා - ඇන්ජලෝ

ඇන්ජලෝ මැතිව්ස්

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන එක් දින සහ විස්සයි විස්ස තරගවලදී නව ජවයකින් තරග කර ජයග්‍රහණය ලබාගැනීමට හැකිවෙතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

නායක මැතිව්ස් ඒ බව පවසා තිබෙන්නේ ටෙස්ට් තරගාවලියේදී අන්ත පරාජයකට මුහුණ දීම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කැඳවනු ලැබ තිබුණු හදිසි රැස්වීමකදී අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවති සාකච්ඡාවට දකුණු අප්‍රිකාවේ සිට ඇන්ජලෝ මැතිව්ස් සහභාගි වූයේ ස්කයිප් තාක්ෂණය ඔස්සේය.

දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය 3-0 කින් පරාජයවීමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය ක්‍රීඩාලෝලීන්ගේ දැඩි විවේචනයට ලක්ව පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එහෙත් ඉදිරි තරගාවලි ජයග්‍රහණය කිරීමට හැකිවෙතැයි නායකයා විශ්වාසය පළ කළ බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසන්නේ.

"පරාජය ගැන බියවන්නේ නම් කිසිදිනෙක ජයග්‍රහණය කළ නොහැකි බව අපි විශ්වාස කරනවා," යනුවෙන්ද රැස්වීමෙන් අනතුරුව තිලංග සුමතිපාල සඳහන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

රැස්වීම පිළිබඳව කරුණු විමසීම පිණිස නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට ඉහතදී දකුණු අප්‍රිකාවේදී ජයග්‍රහණය කර තිබෙන්නේ එක් ටෙස්ට් තරගයක් පමණි.