ආගිය තැන් වසන්කළ වරදට වසරක ක්‍රිකට් තහනමක්

Image copyright AFP
Image caption ලෝකයේ පැවැත්වෙන ප්‍රධාන විස්සයි විස්ස තරගමාලා සියල්ලේම වැඩිම ලන්සු හිමිවන ක්‍රීඩකයන් අතරේ ඇන්ඩ්රේ රසල්ද සිටියි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩ්රේ රසල්ට වසරක ක්‍රිකට් තහනමක් පනවා තිබේ.

ඔහුට මෙම තරග තහනම පනවා ඇත්තේ තහනම් උත්තේජක භාවිතය පිළිබඳව සොයා බලන පරීක්ෂකයන්ට තමා කුමන ස්ථානයක සිටින්නේදැ'යි වාර්තාකිරීමට තුන් වතාවක් අපොහොසත්වීමේ වරදටය.

ලෝක තහනම් උත්තේජක නිවාරණ නීතිය අනුව තුන්වතාවක් පරීක්ෂණ මග හැරයාම සලකනු ලබන්නේ පරීක්ෂණය අසමත්විමක් ලෙසටය.

වැඩිම ලන්සු

ඇන්ඩ්රේ රසල්ට පැනවූ වසරක තරග තහනම ඊයේ සිට (ජනවාරි 31) ක්‍රියාත්මක ක්‍රියාත්මක වනු ඇත.

විස්සයි විස්ස තරගවලදී ඉහල දස්කම් පෙන්වා ඇති ඇන්ඩ්රේ රසල් 2016 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටද ක්‍රීඩා කළේය.

ලෝකයේ පැවැත්වෙන ප්‍රධාන විස්සයි විස්ස තරගමාලා සියල්ලේම වැඩිම ලන්සු හිමිවන ක්‍රීඩකයන් අතරේ ඇන්ඩ්රේ රසල්ද සිටියි.