ශ්‍රී ලංකා පිතිකරුවන්ට මීමැස්සන්ගෙන් බාධා

Image copyright Reuters

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර අද (පෙබ 04) ජොහැන්නස්බර්ග් නුවර දී පැවැත්වෙන එක්දින තරගයේ දී ලංකාව පන්දුවට පහර දෙමින් සිටින අතරතුර පිටියට කඩා වැදුණු මී මැසි රංචුවක් හේතුවෙන් තරඟය දෙවරක් තාවකාලිකව නතර කිරීමට තරඟ තීරකයෝ කටයුතු කළහ.

විසි හත්වන ඕවරය වන විට කඩුලු හතරක් දැවී ලකුණු එකසිය දාහතක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකා පිල පන්දුවට පහරදෙමින් සිටියදී තරගය නිල වශයෙන් නතර කරන ලෙස තීරකයෝ නිවේදනය නිකුත් කළහ.

ක්‍රීඩා පිටිය නඩත්තු කිරීමේ කටයුතු වල නිරත සේවකයෙකු ගිනි නිවන උපකරණයක් භාවිතා කොට මීමැස්සන් පලවා හැරීමට තැත් කළද පසුව මීමැසි පාලනයේ යෙදෙන්නෙකු පිටිය වෙත ගෙන ඒමට බලධාරීහු කටයුතු කළහ.

Image copyright Reuters

කෙසේ වෙතත් පැයකුත් විනාඩි පහක කාලයක් තරඟය තාවකාලිකව නතර කොට තිබුනද මීමැස්සන් පලවා හැරීමෙන් පසු නැවත ක්‍රීඩකයෝ පිටියට පිවිසුනහ.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරන ලද්දේ නිරෝෂන් දික්වැල්ල විසිනි.

ශ්‍රී ලංකාව ඕවර් තිස් නමයයි පන්දු දෙකකදී ලකුණු එකසිය හැට තුනකට දැවී ගිය අතර මේ වන විට පන්දුවට පහර දෙන්නේ දකුණු අප්‍රිකානු පිලයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර