ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව ලකුණු 75කට දවාගනියි

ශ්‍රී ලංකා 19න් පහල ක්‍රිකට් කණ්ඩායම Image copyright Cricket South Africa

දකුණු අප්‍රිකානු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම ලකුණු 75කට දවාගැනීමට 19න් පහල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම එම දස්කම දැක්වූයේ දකුණු අප්‍රිකාවේ පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා යොවුන් එක්දින ශූරතාවලියේ තුන්වෙනි හා අවසාන එක්දින තරගයේදීයි.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 228ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකාවට ලබාගත හැකිවූයේ ලකුණු 75ක් පමණයි. එක් අවස්ථාවක දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු 7ක් බිඳ වැටී රැස්කර තිබුණේ ලකුණු 33 ක් පමණි.

කෙසේ වෙතත් දෙරට අතර පැවති එක්දින තරගාවලිය 2-1 ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය.

මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගිවූ තුන්කොන් එක්දින තරගාවලිය ජයගැනීමටද 19න් පහල ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ අතර දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දිගින් දිගිටම දරුණු පරාජයන්ට මුහුණදෙමින් සිටියි. එම පරාජයන් හමුවේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්කිරීමේ 'කුමන්ත්‍රණයක්' දියත්වෙමින් පවතින බව ක්‍රීඩා විචාරකයෝ පවසති.

කෙසේ නමුත් දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි විස්ස ශූරතාවය ජයගැනීමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමත්විය.