ක්‍රිකට් කාන්තා ලෝක කුසලානය: "බලාපොරොත්තුව අවසාන පූර්ව වටය"

නවසීලන්තයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දවාගැනීමට සමත්වූයේ එක් විකට්ටුවක් පමණි
ඡායාරූප ශීර්ෂ වැකිය,

නවසීලන්තයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දවාගැනීමට සමත්වූයේ එක් විකට්ටුවක් පමණි

එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් පරාජය වුවත්, තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර අතරට තේරී පත්වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පවසයි.

සෙනසුරාදා බ්‍රිස්ටල් නුවර නවසීලන්තයට එරෙහිව පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9 ක අන්ත පරාජයක් අත්විය.

ඉරිදා බ්‍රිස්ටල් නගරයේ සිට බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර, එම පරාජයෙන් පසුබට නොවී ඉදිරි තරග ජයග්‍රහණය කිරීම සිය අපේක්ෂාව බව සඳහන් කළාය.

"මම හිතන්නේ තවමත් අපිට අවස්ථාව තියෙනව මුල් කණ්ඩායම් හතරට එන්න. ඉතින් ඉදිරි තරග හොඳින් ක්‍රීඩා කරලා කෙසේ හෝ මුල් කණ්ඩායම් හතර අතරට ඒම තමයි අපේ බලාපොරොත්තුව," ඇය පවසන්නීය.

නවසීලන්තයට එරෙහි තරගයේදී සිය ප්‍රතිවාදීන්ට ලකුණු 250 ක් හෝ 225 ක් වැනි ඉලක්කයක් ලබාදීම සිය කණ්ඩායමේ අපේක්ෂාව වුවත් මැද පෙළ පිතිකාරිනියන් අසාර්ථකවීම සහ ඉන් අනතුරුව පන්දු යැවීමේ අංශයෙන් ද කණ්ඩායම අසාර්ථකවීම සිය පරාජයට හේතු වූ බව නායිකාව පවසන්නීය.

"ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා හොඳ ආරම්භයක් ලබා දුන්න. ඒ වගේම චමරි පොල්ගම්පොල සහ චමරි අතපත්තු දෙවන පිතිකාරිනියන් දෙදෙනත් හොඳ සම්බන්ධතාවයක් පවතවාගෙන ගියා. නමුත් ඒ වගේ හොඳින් ක්‍රීඩාකරන අවස්තාවක කඩුල්ල ලබා නොදී ක්‍රීඩා කළ යුතුයි. මොකද පන්දුවාර 50ක තරගයක්."

එමෙන්ම තමන්ට කාසියේ වාසිය අහිමිවීමත් පරාජයට තවත් හේතුවක් බව ඉනෝකා රණවීර බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

මේ අතර සෙනසුරාදා පැවති අනෙක් සමාරම්භක තරගයේදී එංගලන්ත කණ්ඩායම විශ්මය පත්කරමින් දැවැන්ත ජයග්‍රහණයක් අත්කරගැනීමට ඉන්දීය කාන්තා පිල සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වදින අතර, ඉන් අනතුරුව ලබන ඉරිදා සත්කාරක එංගලන්තයට එරෙහිව තරග කිරීමට නියමිතය.

නවසීලන්තයට එරෙහි තරගයේදී ලැබූ අත්දැකීම් ඇසුරින් කණ්ඩායමේ අඩු පාඩු සකස් කරගෙන මීළඟ තරගවලට මුහුණදෙන බවත් කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

1973 දී මුලින්ම එංගලන්තයේ පැවති කාන්තා ලෝක කුසලාන හයක් ජයග්‍රහණය කරමින් ඕස්ට්‍රේලියාව වාර්තාවක් තබා සිටින අතර, එංගලන්තය කාන්තා ලෝක කුසලාන තුනක ජයග්‍රාහකයාය.

නවසීලන්තය ද එක් කාන්තා ලෝක කුසලානයක් ජයග්‍රහණය කර තිබේ.