ජය පැරදුම සමව විඳින දෙරටක මිතුරෝ

  • 2017 අගෝස්තු 31
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
දෙරටක් යා කළ ක්‍රීඩා ලෝලීත්වය

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග පරාජය වීමත් සමග බහුතර ක්‍රීඩා ලෝලීන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබෙන්නේ යහපත් ප්‍රතිචාරයක් නොවේ.

දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට විරෝධයක් එල්ල වූ අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගන දී එය ජල බෝතල් ප්‍රහාරයක් දක්වා වර්ධනය විය.

සමාජ ජාල මාධ්‍යවල ද ක්‍රීඩකයන්ට එල්ල වෙන්නේ දැඩි විරෝධයකි.

තත්ත්වය මෙසේ තිබියදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කුමන රටක ක්‍රීඩා කළත් ඔවුන්ට සහාය දක්වමින් දිරිගැන්වීම් කරන ක්‍රීඩා ලෝලියෙකු වන ගයාන් සේනානායක හා ඔහුගේ මිතුරන් පිරිස තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගන්වමින් ක්‍රීඩාංගනයෙන් ක්‍රීඩාංගනයට ගමන් කරමින් සිටිති.

මෙවර තරගාවලියේ ඔවුන් සමග නිතරම දක්නට ලැබුණු පුද්ගලයෙකු වූයේ ඉන්දීය කණ්ඩායමේ "ටෙන්ඩුල්කාර් ෆෑන්" ලෙස හඳුන්වන සුදීර් කුමාර් චවුද්‍රියි.

තරගයකට පෙර ඉන්දීය කොඩියේ පාට තම සිරුරේ පින්තාරු කර ගන්නා සුදීර් කුමාර්, ශ්‍රී ලංකාවේ ගයාන් මෙන් තම රට ක්‍රීඩා කරන සැම තරගයකට සහභාගි වී කණ්ඩායම දිරි ගන්වයි.

"2012 ඉදන් සුදීර් ලංකාවට ආවම ඉන්නේ අපිත් එක්ක. අපේ ගෙදර ඉදල මායි අපේ යාළුවොයි එක්ක තමයි තරග නරඹන්න යන්නේ" යනුවෙන් ගයාන් සේනානායක තම ඉන්දීය මිතුරා සුදීර් හඳුන්වා දෙමින් පැවසීය.

"අමාරුම වැඩේ"

Image caption "අපි යන බස්වල සුදිර්ව ගන්නේ නැහැ තීන්ත ගෑවෙයි කියලා, ත්‍රීවීලුත් එහෙමයි"

ගයාන් මෙන් නොව සුදීර්ට ඇති අමාරුම කාර්ය වන්නේ ඔහුගේ ඇඟේ තීන්ත ආලේප කරගැනීමයි. එය ඔහුටම ආවේණික වූ එකකි.

"ටෙස්ට් තරගයක් නම් කලින් දවසේ තීන්ත ගාන්න පටන් ගන්නවා. එක්දින හෝ විස්සයි විස්ස තරගයක් නම් රෑ 12ට විතර පටන් ගන්නවා, උදේ 10 - 11 වෙනකොට ක්‍රීඩාංගනයට යන්න ලෑස්තියි" යනුවෙන් සුදීර් තම සිරුරේ තීන්ත ආලේප කරමින් අපට පැවසුවේය.

"අවුරුදු 16 ක් මම මේක කරනවා. මගේ දෙවියා සචින් ටෙන්ඩුල්කාර් දැන් විශ්‍රාම ගිහිල්ලා. නමුත් මගේ සහාය මම අනික් ක්‍රීඩකයන්ට දෙනවා, සචින් මාව බලාගන්නවා" යනුවෙන් ඔහු කියා සිටියේය.

හම්බන්තොට, ගාල්ල, නුවර, දඹුල්ල හා කොළඹ දී පැවැත්වෙන තරග සඳහා ගයාන් සහ මිතුරන් සමග එකට එක්ව ගමන් කරන බව සුදීර් සඳහන් කළේය.

"2012 ඉඳන් 4 පාරක් ලංකාවට ආවා, ගයාන්, නිලාම් මට කන්න, බොන්න ඉන්න තැන් දීලා මාව බලා ගන්නවා. මේ අවුරුද්දේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට ආවම මම ඒ දෙන්නව බලාගන්නවා" යනුවෙන් සුදීර් පැවසීය

"අමාරුම වැඩේ තමයි මෙයාගේ තීන්ත වැඩේ. තරගයක් ඉවරවෙලා පැය 3ක් විතර යනවා ඒක යවන්න, ආයෙත් ඊලග තරගෙට ගාන්න ඕන, අපිට වඩා ලොකු කැපකිරීමක් එයා කරනවා. බිත්තිවලට ගාන තීන්ත මේ ගාන්නේ" යනුවෙන් ගයාන් ඔහුගේ මිතුරා සුදීර් ගැන සඳහන් කළේය.

"අනික අපි යන බස්වල සුදිර්ව ගන්නේ නැහැ තීන්ත ගෑවෙයි කියලා, ත්‍රීවීලුත් එහෙමයි" යනුවෙන් ගයාන් පැවසීය.

"සංගාගේ අවසන් ටෙස්ට් තරගයට 2015 යද්දී බොරැල්ලේදී පොලිසියෙන් මාව බස් එකෙන් බැස්සුවා, කවුද 119 කෝල් කරලා, පයින් යන්න කිව්වා, මම ආයෙත් වෙන බස් එකක නැගලා ආව" සුදීර් ලංකාවේ තමන් මුහුණ දුන් සිදුවීමක් මතක් කළේය.

Image caption ගයාන් සේනානායක

සුදිර්ට මෙන්ම ගයාන්ට ද දෙස් විදේශ ක්‍රීඩකයන්ගෙන් ලැබෙන්නේ ලෝකු ප්‍රතිචාරයකි. ඔවුන්ට ගුවන් ටිකට් පත් මෙන්ම තරග සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍රද ලබා දීමට ක්‍රීඩකයෝ කටයුතු කරති.

"මේ පාර ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් අපිව රෑ කෑමට එක්කන් ගියා කිහිප වරක්ම, මම මේ දාගෙන ඉන්න කන්නාඩියත් රෝහිත් ශර්මා දුන්නේ" යනුවෙන් ගයාන් තම අළුත් කණ්ණාඩිය පෙන්වමින් පැවසීය.

පසුගියදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයට ක්‍රීඩා ලෝලීන් බෝතල් වීසි කිරීමේ සිදුවීම ගැන විමසීමේදී සුදීර් පැවසුවේ තමන්ට එවිට 1996 ලෝක කුසලානයේ කොල්කටාහි සිදු වූ මෙවැනිම සිදුවීමක් මතක්වු බවය.

"ඉන්දියාව මේ සැරේ විශිෂ්ට දස්කම් දැක්වූවා, ගයාන්ලා හරි දුකෙන් ඉන්නේ දිගින් දිගටම පරදින නිසා. ක්‍රීඩාලෝලීන් දුකට වතුර බෝතල්වලින් ගැහුවා, 1996 දී කොල්කටාවලත් මේ දේ වුනා. පරදින කොට මෙහෙම හැසිරෙන අය හැම රටේම ඉන්නවා"

මේ වසරේ අවසානයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට එනු ඇතැයි සුද්රි විශ්වාසය පළ කළේය.

"දැන් පැරදුනාට ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ දී හොඳ තරගයක් දෙයි කියලා හිතෙනවා" සුදීර් ගයාන් සනසමින් කියා සිටී.

"දඹුල්ලෙදියි, පල්ලක්ලේදීයි වුනේ හරිම කණගාටුදායක සිදුවීම්, මේ අමාරු කාලේ අපේ කණ්ඩායමට සහාය දෙන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා" යනුවෙන් ගයාන් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්