ලාහෝර් නගරය පුරා දැඩි රැකවරණ !

  • 2017 සැප්තැම්බර් 12
Image copyright AFP
Image caption තරඟාවලිය වෙනුවෙන් සැරසෙන ලාහෝර් නගරය

වසර අටකට පසුව පකිස්තාන් භූමියේ පැවැත්වෙන ලෝක අවධානයට ලක්වෙන පළමු මහා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලාහෝර් නගරයේ දී අද (සැප්තැම්බර් 12) ආරම්භ විය.

2009 වසරේ මාර්තු මාසයේ පාකිස්තානයේ සංචාරය කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රහාරයකට ගොදුරු වීමෙන් පසු විදේශීය ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීමෙන් වැළකීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණි.

එම ප්‍රහාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හත් දෙනකු තුවාල ලද අතර ඒ සමඟ ආරම්භ වූ දීර්ඝ විරාමය නිම කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් (World XI) අද අඟහරුවාදා (සැප්තැම්බර් 12) ලාහෝර් නගරයේ දී පාකිස්තාන් ක්‍රිකට් කණ්ඩායමත් සමඟ 'විස්සයි විස්ස' (T20) තරඟාවලියක් ආරම්භ කිරීමට නියමිතයි.

'නිදහස් කුසලාන තරඟාවලිය ' (Independence Cup trophy ) යනුවෙන් නම් කරනු ලැබ ඇති මෙම තරඟාවලිය 'විස්සයි විස්ස' ජාත්‍යන්තර තරඟ තුනකින් සමන්විත වෙයි.

පාකිස්තාන් ක්‍රිකට් බලධාරීන්ගේ දැඩි ප්‍රයත්නයෙහි ප්‍රතිපලයක් වශයෙන් ආරම්භ කෙරෙන මෙම තරඟාවලිය සඳහා ඉතා දැඩි ආරක්ෂක විධි විධාන යොදා ඇති බව ලාහෝර් නගරයෙන් වාර්තා වෙයි.

2015 වසරේ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයට ලඟා වුනත් එම සංචාරය අතරවාරයේ ලාහෝර් ක්‍රීඩාංගණය ආසන්නයේ එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාරයක් නිසා එම සංචාරයට බාධා එල්ල විය.

Image copyright AFP
Image caption පාකිස්තාන් පිතිකරුවන තරඟයට පෙරහුරු ලබමින්

ක්‍රිකට් පාකිස්තානයේ අතිශයින් ජනප්‍රිය ක්‍රීඩාවයි.

මෙම තරඟාවලියේ සමාරම්භය සඳුදා (සැප්තැම්බර් 11) සනිටුහන් කෙරුණේ පාකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නම් කරනු ලැබ ඇති 'නිදහස් කුසලාන තරඟාවලියට' (Independence Cup trophy ) අදාළ පුවරුව විචිත්‍ර උත්සවයක දී කණ්ඩායම් දෙකේ නායකයන් අතින් විවෘත කිරීමත් සමඟයි.

ඉන් අනතුරුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයෝ ක්‍රීඩාංගණය තුළ පුහුණු වීම් ආරම්භ කළහ.

මෙම විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමට රටවල් හතක ක්‍රීඩකයෝ ඇතුළත් වෙති.

තරඟාවලියේ දෙවැනි සහ තුන් වෙනි තරඟ බදාදා සහ සිකුරාදා පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා මෙම තරඟාවලියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම(World XI) නියෝජනය කරයි.

තරඟ පැවැත්වෙන ලාහෝර් නගරයේ 'ගඩාෆි' ක්‍රීඩාංගණය අසල ක්‍රීඩකයන් ලැගුම් ගන්නා හෝටල් අවට දැඩි ආරක්ෂක රැකවරණ යොදමින් එම කලාපය වසා තබා ඇති අතර තරඟාවලිය නිමවෙන තෙක් එම කලාපයේ රථ වාහන ගමනාගමනය සහ ව්‍යාපාරික කටයුතු අත්හිටුවා ඇත.

Image copyright AFP
Image caption ලාහෝර් නගරය පුරා දැඩි ආරක්ෂක විධි විධාන යොදා ඇත.

පාකිස්තානයේ දෙවැනි ප්‍රධාන නගරය වන ලාහෝරයේ 2009-13 අවධියේ උත්සන්නව පැවති ප්‍රචණ්ඩ ගැටුම්කාරී තත්වය මේවනවිට සමනය වී ඇති බව බලධාරීහු පවසති.

2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණ ප්‍රහාරයේ දී පොලිස් භටයන් හය දෙනකු සහ ක්‍රිකට් තරඟ විනිසුරුවරුන් ප්‍රවාහනය කෙරෙමින් තිබුණ කුඩා බස්රියේ රියැදුරාද ඇතුළුව සාමාන්‍ය වැසියන් දෙදෙනකු මරණයට පත් වූ අතර එම ප්‍රහාරය පකිස්ථානය සහ ක්‍රිකට් ක්‍රීඩා ලෝකය කම්පනයට පත් කිරීමට හේතු විය.

එම ප්‍රහාරයට ගොදුරු වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ද මෙම සැප්තැම්බර් මාසය අගභාගයේ පාකිස්ථානයට ලඟාවීමට නියමිතයි.

සන්නද්ධ ප්‍රහාර කීපයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් කරනු ලැබ ඇතත් ලාහෝර් නාගරික කොමසාරිස් අබ්දුල්ලා සුම්බට් බීබීසියට ප්‍රකාශයක් කරමින්, එවැනි ප්‍රහාරයක් වෙතොත් ඒවා මැඩලීමට ආරක්ෂක පියවර ශක්තිමත් කරනු ලැබ ඇතැයි කියා සිටියේය.

ලාහෝර් නිලධාරීන් පවසන පරිදි රථවාහන හැසිරවීමට සහ ආරක්ෂක කාර්යයන් උදෙසා අට දහසක පොලිස් බලකායක් නිරත කරනු ලැබ ඇති අතර අතිරේක හමුදා සහ බුද්ධි අංශ නිලධාරීන් ද ක්‍රියාත්මක වෙති.

ලාහෝර් ක්‍රීඩාංගනය ආසන්නයේ තාවකාලික රෝහලක් ද පිහිටුවා ඇති අතර ගිලන් රථ විස්සක් සූදානමින් තබා ඇත.

නගරයේ සාමාන්‍ය ජීවිතය අඩාල කරමින් ක්‍රිකට් තරඟ මාලාවක් පෙරට ගෙන යාමේ අර්ථය සම්බන්ධයෙන් විවේචකයන් මැසිවිලි පළ කර ඇතත් මෙම තරඟාවලියේ මහමොළකරු වන පකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා දැනට ක්‍රියාත්මක කෙරෙන දැඩි ආරක්ෂක විධි විධාන යුක්ති සහගත කරයි.

මාධ්‍යවේදීන් ඉදිරියේ අදහස් දැක්වූ සභාපතිවරයා "ඉහළ ප්‍රතිලාභ ලැබීමට නම් ජාතිය කුඩා පරිත්‍යාග සිදුකළ යුතුව ඇතැයි" කියා සිටියේය.

Image copyright Getty Images
Image caption අතිරේක හමුදා මුර සංචාරයේ

ඔහුගේ අදහස් ප්‍රතිරාවය කරන ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමේ (World XI) පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් "ක්‍රිකට් පවුලේ එකමුතුභාවය විදහා පෑමක් වශයෙන් සිය කණ්ඩායම පකිස්තානයට ලඟා වූ" බව සඳහන් කළේය.

මෙම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් පාකිස්තාන් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් දැඩි උනන්දුවෙන් බලා සිටින අතර තරඟ නැරඹීමේ බලපත් වැඩි හරිය විකිණී අවසන් බවත් වාර්තා වෙයි.

තරඟ නැරඹීමේ බලපත් විකිණීමේ නිරත වූ කුඩා වෙළඳ කුටි වසා දමනු ලැබ ඇති අතර අවසර් පත් නොලද ක්‍රීඩා ලෝලීහු බැංකු සහ ක්‍රීඩාංගනය ඉදිරිපිට විරෝධය පළ කරමින් සිටියහ.

Image copyright Reuters
Image caption ජාත්‍යන්තර කණ්ඩායම නියෝජනය කරන තිසර පෙරේරා

කරච්චියේ සිට පැමිණි ෆර්හාඩ් ජරාල් ශිෂ්‍යයා අදහස් දක්වමින්, දින තුනක් පෝලිමේ සිට අවසානයේ අවසර පතක් මිලට ගැනීමට තමාට හැකි වුණේ ඩොලර් 41 ක මුදලකට යයි සඳහන් කළේය.

"එය මට දරන්න බැරි මුදලක්.එහෙත් ක්‍රිකට් වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන්න පුළුවන්" ෆර්හාඩ් ජරාල් පවසයි.