තරග තහනම: මහේල ජයවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිචාරය

Image copyright Getty Images

විෂමාචාරයෙහි යෙදීම සහ ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැණිව කටයුතු කිරීමේ චෝදනාවලට වැරදිකරු වූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩක චාමර සිල්වාට දෙවසරක තරග තහනමක් පැණවීම කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ඇතුළු ඇතැම් ක්‍රීඩාලෝලීන්ගේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම විවේචන තරයේ ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රීමියර් ක්‍රීඩා සමාජ තරගාවලියේ කළුතර සංස්කෘතික කවය ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර පසුගිය ජනවාරි මාසයේ පැවති තුන් දින අවසාන මහා තරගය පාවා දුන් බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඒ පිළිබඳව පරීක්ෂා කිරීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කමිටුවක් පත් කළේය.

තරග පාවා දීමේ චෝදනාව සනාථ වී නැතත්, විෂමාචාරයෙහි යෙදීම සහ ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැණිව කටයුතු කිරීමේ චෝදනාවලට කණ්ඩායම් දෙකම වැරදිකරුවන් බව පරීක්ෂණ මණ්ඩලයේ නිගමනය වී තිබේ.

Image copyright Twitter/ @MahelaJay
Image caption "මේක කොහොමද සාධාරණ වෙන්නේ? තරගයෙන් අයින් වෙලා හිටපු කෙනාට අවුරුදු දෙකක් (තහනමක්) දීල. ඒකට සම්බන්ධ වුණු අයට (තහනම) අවුරුද්දයි"

ඉන් අනතුරුව ඔවුන්ට දඬුවම් පැමිණවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කළේය.

එහිදී චාමර සිල්වා සහ මනෝජ් දේශප්‍රිය යන කණ්ඩායම් නායකයන් දෙදෙනාට වසර දෙකක් දක්වා ක්‍රිකට් තහනමක් පැනවිණ.

අනෙකුත් සියලුම චුදිත ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් හට වසරක කාලයක් සඳහා ක්‍රිකට් තහනමක් පණවන ලදි.

එහෙත් විශේෂයෙන්ම සිය සහෝදර ක්‍රීඩක චාමරට සිල්වාට දෙවසරක තරග තහනමක් පණවමින් කණ්ඩායමේ පුහුණුකරුවන් ඇතුළු අනෙක් චුදිතයන්ට අඩු දඬුවම් පැණවීම මහේල ජයවර්ධන ගේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

"කොහොමද මේක සාධාරණ වෙන්නේ? තරගයෙන් අයින් වෙලා හිටපු කෙනාට අවුරුදු දෙකක් (තහනමක්) දීල. ඒකට සම්බන්ධ වුණු අයට (තහනම) අවුරුද්දයි," යනුවෙන් මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩයකින් සිය ප්‍රතිචාරය පළ කර තිබුණි.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

බීබීසී සිංහල සේවය එම චෝදනාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ මතිවානන් වෙත යොමු කළ අවස්ථාවේ, "අපි කොහොමද දන්නේ එයා එහෙම දේකින් අයින් වෙලා හිටිය කියල?. අපිට කියල තියෙන්නේ එයා බඩේ අමාරුවක් නිසා ක්‍රීඩා කළේ නෑ කියල," යනුවෙන් ඔහු ප්‍රති ප්‍රශ්නයක් නැගුවේය.

උදරයේ ආබාධයක් බව පවසමින් චාමර සිල්වා අවසාන මහා තරගයට ක්‍රීඩා කිරීමෙන් වැලකී තිබේ. කෙසේ නමුත් තරගය පාවාදීමේ උත්සාහයක් හේතුවෙන් ක්‍රීඩා කිරීමෙන් වැලකී සිටි බව චාමර සිල්වා පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේ කිසිදු සඳහනක් නොකළ බව උප සභාපතිවරයා අවධාරණය කරයි.

"චාමර සිල්වා ඉවත්වෙලා හිටියේ ඇයි කියල අපි දන්නේ කොහොමද ඔහු අපිට කියන්නේ නැත්නම්? අපි නක්ෂත්‍ර කරුවෝ නෙවෙයිනේ. තරග පාවාදීමේ උත්සාහයක් තිබුණ කියල කවුරු හරි ඉදිරිපත් වෙලා සාක්ෂි දෙනවා නම් අපිට ඒ ගැන පරීක්ෂා කරන්න පුළුවන්," උප සභාපති කේ මතිවානන් බීබීසී සිංහල සේවයට පැවසීය.

තරග පාවාදීමකට උත්සාහයක නිරත වූ පුහුණුකරුවන් සහ ක්‍රීඩා සමාජ නිලධාරීන් ඇතුළු ඕනෑම පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා තහනමක් පණවමින්, ශ්‍රී ලංකාව තරග පාවාදීමේ උත්සාහයන්ට එරෙහිව දැඩි ස්ථාවරයක් ගත යුතු බව ද මහේල ජයවර්ධන අවධාරණය කර තිබුණි.

එම අදහස තමන් ද අනුමත කරන බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයා, කෙසේ නමුත් චාමර සිල්වා සිය කණ්ඩායමේ නායකයා පමණක් නොව පුහුණුකරු ද වූ බවත් සිහිපත් කරයි.

ඒ අනුව මහේල ජයවර්ධන ගේ යෝජනාව ක්‍රියාවට නැගුවේ නම් චාමර සිල්වාට ද ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවිය හැකිව තිබුණු බව පෙන්වාදෙන කේ මතිවානන් අවධාරණය කරන්නේ චාමර සිල්වා ඉතා හොඳ, දක්ෂ ක්‍රීඩකයකු බවය. එහෙත් අදාළ චෝදනාව සම්බන්ධයෙන් පැවති පරීක්ෂණයේ දී තරග පාවාදීමේ උත්සාහයක් පිළිබඳව කිසිවෙකුත් සාක්ෂි ඉදිරිපත් නොකළ බව ඔහු දිගින් දිගටම කියා සිටියේය.

එබැවින් විෂමාචාරයක් සම්බන්ධයෙන් විභාග කොට "ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට" දඬුවම් පැමිණවීමට හැකිවීම පිළිබඳව අවංකවම සතුටු වන බව ද උප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

"අපි සාධාරණය ඉෂ්ඨ කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මේ වගේ දෙයක් සිද්ද වුනේ පළමු වතාවට."

ක්‍රිකට් විධායක කමිටුවේ තීරණ

  1. චෝදනාවට තුඩු දුන් එකී තරඟය සහ එහි ප්‍රතිඵල බල ශුන්‍ය කිරීමට සහ තරගාවලියේ ලකුණු වගුව ඒ අනුව නියමිත පරිදි වෙනස් කිරීම.
  2. එකී ක්‍රීඩා සමාජවලින් තරඟ ගාස්තුව අය කර ගැනීමට සහ රුපියල් 500,000 බැගින් දඩ නියම කිරීම.
  3. ක්‍රීඩා සමාජ දෙකෙහි නායකයින් වශයෙන් ක්‍රියා කල මනෝජ් දේශප්‍රිය සහ චාමර සිල්වා යන අය හට වසර 2 ක කාලයක් සඳහා සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම් සිදු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම. (ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම හා පරිපාලනය ඇතුළුව.)
  4. අනෙකුත් චූදිත සියලු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් හට වසර 1 ක කාලයක් සඳහා සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම් සිදු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීම. (ක්‍රීඩාව, පුහුණු කිරීම හා පරිපාලනය ඇතුළුව.)
  5. තරඟ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීම හා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්