ඩෙන්මාර්කයේ පාපන්දු ක්‍රීඩකයන්ගෙන් ක්‍රීඩිකාවන්ට වැටුප්

ඩෙන්මාර්කයේ පාපන්දු ක්‍රීඩිකාවෝ Image copyright Getty Images

සිය වැටුප් සම්බන්ධයෙන් ඩෙන්මාර්ක පාපන්දු සම්මේලනය සමග හටගෙන තිබෙන මතභේදයක් හේතුවෙන් ඩෙන්මාර්කයේ පාපන්දු ක්‍රීඩිකාවෝ වැඩ වර්ජනයක නිරතව සිටිති.

අර්බුදය කෙතරම් උග්‍රව තිබෙන්නේ ද යත් ඔවුහු පසුගිය සිකුරාදා නෙදර්ලන්තයට එරෙහිව පැවති සුහද තරගයට ද සහභාගි නොවූහ.

මතභේදය පිළිබඳව ස්ථිර එකඟත්වයකට පැමිණෙන තුරු තාවකාලික විසඳුමක් පාපන්දු සම්මේලනය (Danish Football Association -DBU) විසින් ඩෙන්මාර්ක වෘත්තීය පාපන්දු ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ගේ සංගමය (Danish Professional Footballers Association -PFA) වෙත සෙනසුරාදා (සැප්තැම්බර් 16) ඉදිරිපත් කරන ලද නමුත් ඒ සම්බන්ධයෙන් ද තවමත් එකඟත්වයකට එළඹී නැත.

එම යෝජනාවට ප්‍රතිචාර වශයෙන් ක්‍රීඩකයන්ගේ සංගමය යෝජනා දෙකක් ඉරිදා (සැප්තැම්බර් 17) ඉදිරිපත් කළ නමුත් එම යෝජනා දෙකම ප්‍රතික්ෂේප කෙරිණ.

මේ අතරවාරයේ ඩෙන්මාර්ක පාපන්දු ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවන්ට අපූරු යෝජනාවක් කළහ.

සිය වැටුප්වලින් බ්‍රිතාන්‍ය පවුම් 60,000 ක මුදලක් ක්‍රීඩිකාවන්ට ගෙවීමය, ඒ.

වැටුප් සම්බන්ධයෙන් "සාකච්ඡා කිරීමට සූදානම් නැති" පාපන්දු සම්මේලනයක් සමග ගනුදෙනු කිරීම "වෙහෙසකර" බව ක්‍රීඩකයන්ගේ සංගමයේ සභාපති ජෙප් කර්ත් (Jeppe Curth) පැවසීය.

ලබන අඟහරුවාදා හංගේරියාවට එරෙහිව පැවැත්වෙන තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු පිණිස වැටුප් සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට ක්‍රීඩිකාවන් උත්සාහ දරන නමුත් ක්‍රීඩා බලධාරීන්ගේ එවැනි උනන්දුවක් දකින්නට නොමැති බව ද ඔහු පැවසීය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ක්‍රීඩකයන් පුහුණු කරන පාපන්දු ශූරිය

හංගේරියාවට එරෙහිව පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගය සඳහා "වෙනත් ක්‍රීඩිකාවන් සොයා ගැනීමට හෝ තරගයෙන් ඉවත්වීමට" තමන්ට සිදු වනු ඇති බව පාපන්දු සම්මේලනයේ සන්නිවේදන කළමනාකරු ජේකොබ් හොයර් (Jakob Hoyer) බීබීසී ස්පෝර්ට්ස් වෙබ් අඩවියට පැවසීය.

"ක්‍රීඩකයන්ගේ යෝජනාව ඉතාම සාධනීය දෙයක් නමුත් ඒක අපේ සාකච්ඡාවල කොටසක නොවෙයි," ඔහු සඳහන් කළේය.

ඩෙන්මාර්ක පාපන්දු ක්‍රීඩිකාවන්ගේ වැටුප් සම්බන්ධ සාකච්ඡා පසුගිය මාස නවය මුළුල්ලේ පැවැත්වෙන බව විශ්වාස කෙරේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ 'නොසලකා හැරීම්'

ක්‍රීඩකයන් මෙන් ක්‍රීඩිකාවන් ද ජාතික පාපන්දු සම්මේලනයේ වැටුප් ලබන පිරිසක් බවට පත්කිරීම ක්‍රීඩිකාවන්ගේ ඉල්ලීම වී තිබේ.

එහෙත් පාපන්දු බලධාරීන් විසින් අලුතෙන්ම ඉදිරිපත් කර තිබෙන යෝජනාව අනුව ක්‍රීඩිකාවන් පාපන්දු සම්මේලනයේ වැටුප් ලබන සේවකයන් පිරිසක් ලෙසින් නොසැලකේ. ක්‍රීඩිකාවෝ එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළහ.

ඒ වෙනුවට ක්‍රීඩකයන්ගේ වැටුපෙන් කොටසක් (බ්‍රිතාන්‍ය පවුම් 60,000 ක්) ක්‍රීඩිකාවන්ට ගෙවන මෙන් ක්‍රීඩකයන්ගේ වෘත්තීය සමිතිය යෝජනා කළේය.

Image copyright Icc/ twitter

එහිදී ක්‍රීඩකයන්ට හා සමාන සියලු මූලික අයිතිවාසිකම් ක්‍රීඩිකාවන්ටත් හිමිවිය යුතු බව ද වෘත්තීය සමිතියේ යෝජනාව විය.

එහෙත් එම යෝජනාව පාපන්දු බලධාරීහු ප්‍රතික්ෂේප කළහ.

කාන්තාවන්ට සහ පුරුෂයන්ට වෙනස් ලෙසින් සැලකීම පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රයේ ද වරින් වර සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී.

2012 ශ්‍රී ලංකාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය අවස්ථාවේ අදහස් දැක්වූ එංගලන්ත කාන්තා කණ්ඩායමේ නායිකාව චාලට් එඩ්වර්ඩ්ස් සහ දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව මිග්නන් ඩු ප්රීස් (Mignon Du Preez) කාන්තාවන්ටත් සමානව සැලකීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

ඔවුන් පළ කළ එම අදහස් බීබීසී සිංහල සේවය අයිසීසී ජගත් පාලක මණ්ඩලය වෙත යොමු කළ අවස්ථාවේ අයිසීසීයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක දී පුරුෂ කණ්ඩායම්වලට සහ කාන්තා කණ්ඩායම්වලට සමාන පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බවය.

සබැඳි විෂයයන්