ක්‍රිකට්; ශ්‍රී ලංකාව ඩුබායි භූමියේ දී පකිස්තානය පරාජය කරයි

  • 2017 ඔක්තෝබර් 10
Image caption ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියකින් පාකිස්තානය පරාජය කළ පළමු රට ලෙස වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් එම වාර්තාව තබන ලද්දේ පකිස්තානයට එරෙහිව පැවති 'ඩුබායි' දිවා රාත්‍රී ටෙස්ට් තරඟය ලකුණු 68 කින් ජය ගනිමිණි.

'අබුඩාබි' ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයද තියුණු සටනකින් අනතුරුව ලකුණු 21 කින් දිනා ගැනීමට ශ්‍රී ලංකාව කණ්ඩායම සමත් වූහ.

පකිස්තානය 'තම දෙවන නිවහන' ලෙස සලකන 'ඩුබායි' භූමියේ දී ටෙස්ට් තරඟාවලියක් මින් පෙර පරාජය වී නැති අතර, මෙය 2010 වසරෙන් පසු තමන් සංවිධානය කළ තරඟාවලියක දී ඔවුන් ලත් පළමු පරාජය ද මෙයයි.

'ඩුබායි' තරඟයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළ දිල්රුවන් පෙරේරා, පකිස්තාන් කණ්ඩායමේ කඩුලු පහක් බිඳ හෙළමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය අතර, පළමු ඉනිමේ දීත් ඔහු කඩුලු තුනක් ලබා ගත්තේය.

මෙම තරඟයේ දී පිතිකරුවකු ලෙසත් දස්කම් පෑ දිල්රුවන් පෙරේරා පළමු ඉණිමේ දී අර්ධ ශතකයක් වාර්තා කළේය.

මෙම දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිමේ දී අනගි ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ලකුණු 196 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට අඩිතාලම දමන ලද අතර ,නිරෝෂන් දික්වැල්ල හා නායක දිනේෂ් චන්දිමාල් ද පිත්තෙන් දස්කම් දැක්වූහ.

මෙම තරඟාවලියේ 'අබුඩාබි' තරඟයේ සිය දෙවන ඉණිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ළකුණු 136 කට දැවී ගිය නමුත් පන්දු යවන්නන්ගේ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් එම පළමු තරඟය ජය ගැනීමට ඔවුහු සමත් වූහ.

Image caption දිවා රාත්‍රී තරඟ සඳහා රෝස පැහැති පන්දුවක් යොදා ගනු ලැබුණි

'ඩුබායි' හි පැවැත්වුන අවසන් තරඟයේ දෙවන ඉණිමේදීත් සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේ ළකුණු 96 ක් පමණි .

තරඟයක තුන්වෙනි ඉනිමේ දී ලකුණු 100 කට අඩුවෙන් ලබාගත් කණ්ඩායමක් එම තරඟයේ ජය වාර්තා කරන ලද්දේ වසර 115කට පසුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මින් පෙර 2013 වසරේ 'ඩුබායි' භූමියේ සහභාගී වූ තරඟාවලිය අවසන් වුණේ 1-1 ලෙසයි.

මෙම තරඟාවලියේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ 'ටෙස්ට්' වර්ගීකරණය අනුව හත් වෙනි ස්ථානයේ සිට හය වෙනි ස්ථානයට පත්විය.

ශ්‍රී ලංකා හා පකිස්තානය අතර එක් දින තරගාවලිය මෙම 13 වැනි දින ආරම්භ වෙයි.

දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බර් මාසය අගභාගයේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව එරට පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියකට සහභාගී වීමට නියමිතයි.