ඉන්දියානු සංචාරය ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස් කම්

Image caption ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මස අට වැනිදා ඉන්දියාව බලා පිටත් වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයට ඇතුළත් ටෙස්ට් තරඟ සඳහා කුසල් මෙන්ඩිස් සහභාගී කර නොගැනීමට ක්‍රිකට් තේරීම් කමිටුව ගත් තීරණය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් ඇත.

පසුගියදා පකිස්තානය සමග පැවති ටෙස්ට් තරඟාවලියේ දී ඉනිම හතරකදී ලකුණු 58ක් පමණක් රැස්කළ කුසල් මෙන්ඩිස්, එක්දින තරගඟාවලියේ දීත් අසාර්ථක ක්‍රීඩකයකු බවට විය.

ඒ අනුව ග්‍රැහැම් ලැබ්රෝයිගේ සභාපතිවයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරිමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

එහෙත් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඇතුළු ක්‍රීඩකයන් මෙන්ම, ක්‍රිකට් විචාරකයන් සහ ක්‍රීඩා ලෝලීන් ද එම තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධය පළ කරමින් ඇත.

මහේල ජයවර්ධන තේරීම් කමිටුවේ තීරණයට විරෝධය පළ කරමින් 'ට්විටර්' පණිවිඩයක් නිකුත් කරමින්, කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ නැත්තේ කුමක් නිසාදැයි තමාට තේරුම් ගැනීමට නොහැකි බව පවසයි.

"ඔහු ක්‍රීඩා කළේ නැතත් ඉන්දියානු සංචාරයට ඇතුළත් කරන්න තිබුණා. තරුණ ක්‍රීඩකයන් ඉගෙන ගන්නේ එහෙමයි" මහේල පෙන්වා දෙයි.

Image caption ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්

පකිස්තාන් සංචාරයට පෙර ඉන්දියාව සමග කොළඹ පැවැත්වුන තරඟාවලියේ දී කුසල් මෙන්ඩිස් විශිෂ්ට ශතකයක් රැස් කළ බවත් මහේල ජයවර්ධන සිහිපත් කරයි.

2017 වසරේ ටෙස්ට් තරඟවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කර තිබෙන්නේ දිමුත් කරුණාරත්න වන අතර, දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කර තිබෙන්නේ කුසල් මෙන්ඩිස් විසිනි.

කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කළේ ඔහුගේ ඇති යම් අඩුපාඩු නිවැරදි කර ගෙන ඉදිරි සංචාර සඳහා ඔහු යොදා ගැනීම සඳහා බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මේ අතර කියා සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරුවන් වන හෂාන් තිලකරත්න සහ අවිශ්ක ගුණවර්ධන යටතේ කුසල් මෙන්ඩිස් විශේෂ පුහුණු සැසිවාර වලට සම්බන්ධ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලබරෝය් මාධ්‍යයට පවසා තිබුණි.

කුසල් මෙන්ඩිස් දේශීය තරඟ සඳහාත් සහභාගී කරවමින් ඔහු යළි විශ්වාසදායක ක්‍රීඩකයකු මට්ටමින් කණ්ඩායමට එක් කිරීම තේරීම් කමිටුවේ අරමුණ බවත් පැවසෙයි.

Image caption ඉන්දියාවේ දී ටෙස්ට් ජයක් ලැබීම ශ්‍රී ලංකා පිලේ අපේක්ෂාවයි

කුසල් මෙන්ඩිස් පසුගිය සති අන්තයේ පැවති දේශීය තරඟයක දී සීසීසී කණ්ඩායම වෙනුවෙන් ලකුණු 124 ක් රැස් කිරීමට සමත් විය.

ඉදිරි තරඟ සඳහා කුසල් මෙන්ඩිස් වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර, ඔහු හෝ සංචිතයේ සිටින ලහිරු තිරිමාන්න හෝ මෙන්ඩිස් ගේ අංක තුන ස්ථානයේ ක්‍රීඩා කිරීමට නියමිතය.

නිත්‍ය ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වාට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති අතර, ඔහු වෙනුවට පසුගිය පකිස්තාන් සංචාරයේ දී කණ්ඩායමට එක් වූ සදිර සමරවික්‍රම ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරයි.

පසුගිය ඉන්දීය සංචාරයේදී දස්කම් දැක්වූ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ද කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර, ටෙස්ට් තරඟ සඳහා ඉදිරි කාලයේ දී සලකා නොබලන බව තේරීම් කමිටුව ඔහුට දන්වා ඇත.

ඊට හේතුව නුවන් ප්‍රදීප් දිගින් දිගටම ආබාධ වලට ඔහු ලක්වීමයි.

එහෙත් එක්දින තරග සඳහා නුවන් ප්‍රදීප් යොදා ගැනීමට බලාපොරොත්තු වන බව තේරීම් කමිටුව සඳහන් කරයි.

මේ අතර 2019 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙස තිලාන් සමරවීර පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

තිලාන් මෙවර ඉන්දීය සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වනු ඇත.

බංගලාදේශ කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙසද කටයුතු කර ඇති තිලාන් සමරවීර, ඕස්ට්‍රේලියාවේ පදිංචි කරුවෙකි.

Image copyright Getty Images
Image caption කුසල් මෙන්ඩිස් ක්‍රීඩාලෝලීන්ට ආචාර කරන අවස්ථාවක්

කිසිදු ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවට එරෙහිව එරට පැවති ටෙස්ට් තරගයක් තවමත් ජයග්‍රහණය කර නැත.

කෙසේ හෝ ඉන්දියාවේ දී ටෙස්ට් තරගයක් ජය ගැනීම තම සිහිනය බව ශ්‍රී ලංකාවේ අංක එකේ දඟ පන්දු යවන්නා වන රංගන හේරත් පවසයි.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හැර වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙක් ඉන්දියාවේදී ටෙස්ට් තරඟ ක්‍රීඩා කර නොතිබීමත් විශේෂත්වයකි.

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවේ සංචාරය කළ 2009/10 තරඟාවලියේ දී 2-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

ටෙස්ට් තරඟ තුනක්, එක්දින තරඟ තුනක් සහ විස්සයි විස්ස තරඟ තුනක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මස අට වැනිදා ඉන්දියාව බලා පිටත් වීමට නියමිතයි.

සබැඳි පුවත්;