උපුල් තරංග ඉවතට - තිසර නායකයා

එක්දින හා විස්සයි විස්ස නිත්‍ය නායකයා තිසර පෙරේරා Image copyright Reuters
Image caption එක්දින හා විස්සයි විස්ස නිත්‍ය නායකයා තිසර පෙරේරා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා විස්සයි විස්ස නිත්‍ය නායකයා ලෙස කටයුතු කළ ආරම්භක පිතිකරු උපුල් තරංග එම තනතුරෙන් ඉවත්කර තිබේ.

උපුල් තරංග වෙනුවට තුන් ඉරියව්වේ ක්‍රීඩක තිසර පෙරේරා කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා පිළේ ඉන්දීය සංචාරයේ එක්දින හා විස්සයි විස්ස තරගවල නායකත්වය තිසර පෙරේරාට පැවරේ.

ඇන්ජෙලෝ මැතිව්ස් පසුගිය ජුනි මාසයේ නායකත්වයෙන් ඉවත්වූ පසු උපුල් තරංගට එක්දින හා විස්සයි විස්ස නායකත්වයත්, දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් තරගවල නායකත්වයත් ලබාදීමට කටයුතු කෙරිණි.

උපුල් තරංග නිත්‍ය නායකත්වයට පත්වූ පසු පැවති එක්දින හා විස්සයි විස්ස තරග සියල්ලෙන් ශ්‍රී ලංකා පරාජයට පත්විය. ඒ, ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලිය 5-0ක් ලෙස හා පාකිස්ථානය සමග පැවති එක්දින තරගාවලිය 5-0ක් ලෙසිනි.

ඇන්ජලෝ මැතිව්ස් අබාධ තත්ත්වයට පත්වූවිට අවස්ථා කිහිපයකදී උපුල් තරංග නායකත්වය දැරු අතර එම අවස්ථා ද එක්ව අවස්ථා 22කදී ශ්‍රී ලංකාවට ඔහු නායකත්වය දී තිබේ. එහිදී ජයගැනීමට හැකිව තිබෙන්නේ තරග 4ක් පමණි. තරග 16 පරාජයවූ අතර තරග 2ක් වර්ෂාව නිසා අතහැර දමන්නට සිදුවිය.

කෙසේ නමුත් 2017 වසරේ ශ්‍රී ලංකාවේ සාර්ථකම එක්දින පිතිකරුවා වන්නේ ද උපුල් තරංග ය. අනිකුත් ක්‍රීඩකයන් සියල්ල අසාර්ථක වෙද්දී ඔහු තරග 22 කදී ලකුණු 860ක් රැස්කර තිබෙන්නේ ලකුණු 47ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

ආරක්ෂක හේතු දක්වමින් පසුගිය පාකිස්තාන සංචාරයට එක්වීම ප්‍රතික්ෂේප කිරීම උපුල් තරංග නායකත්වයෙන් ඉවත්කිරීමට හේතුවක්වි ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්ගේ ඉල්ලීම් ගණනාවක්‌ බැහැර කරමින් ඔහු එම තරගාවලියෙන් ඉවත්වුණු අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයේ සංචාරය කළේ තිසර පෙරේරාගේ නායකත්වයෙනි.

ශ්‍රී ලංකාව 2017 වසරේ එක්දින තරග 26ක් ක්‍රීඩා කර ඇති අතර, එයින් තිසර පෙරේරා ක්‍රීඩා කර ඇත්තේ තරග 11ක් පමණි. එක්දින කණ්ඩායමේ නිශ්චිත ස්ථානයක් පසුගිය සංචාර කිහිපයේ ඔහුට නොතිබුණු අතර එවන් අවස්ථාවක කණ්ඩායමේ නායකත්වයට පත්වී ඇත.

2017 වසරේ ශ්‍රී ලංකාව සහභාගිවී ඇති තරග 26න් ජයගෙන ඇත්තේ තරග 4ක් පමණි. අවසන් වරට සහභාගිවී ඇති තරග 12ම ශ්‍රී ලංකාව පරාජයට පත්ව ඇත. ඒ අනුව නව නායකයකු යටතේ ජයග්‍රාහී මාවතට පිවිසිය හැකිදැයි විමසා බැලීම මෙම උත්සාහයෙන් පෙනෙන්නට ඇත. තිසර පෙරේරා 2017 වසරේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට නායකත්වය දෙන 5 වෙනි ක්‍රීඩකයා වේ.

වෙනත් තොරතුරු :

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර