ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ

  • 2017 දෙසැම්බර් 5
ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිසි අවසරයකින් තොරව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්වීමට සුදානම් වීම මීට හේතුව බව වාර්තා විණි Image copyright Getty Images
Image caption ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිසි අවසරයකින් තොරව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්වීමට සුදානම් වීම මීට හේතුව බව වාර්තා විණි

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් 9 දෙනෙකු ඉන්දියාව බලා පිටත්වීම සඳහා ගුවන්තොටුපළ දක්වා ගොස් සිටියදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින්ඔවුන් නැවත කැඳවනු ලැබ තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිසි අවසරයකින් තොරව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්වීමට සුදානම් වීම මීට හේතුව බව වාර්තා විණි.

තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන් 9 දෙනකු ඉන්දියාවේ දිල්ලි අගනුවර බලා යාම සඳහා ඊයේ (දෙසැම්බර් 04) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපලට පැමිණ සිටියදී ක්‍රීඩා බලධාරීන් විසින් ඔවුන් නැවත කැඳවනු ලැබීය.

"අපි ගුවන්තොටුපලට ගිහිල්ල ඉන්නකොට අපිව නැවත කැඳවුවා, ක්‍රීඩකයන් නිකන් රස්තියාදු වුනා" ගුවන්තොටුපල දක්වා ගිය ක්‍රීඩකයකු බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේය.

ක්‍රීඩකයන් නැවත කැඳවූ බව ක්‍රීඩා අමාත්‍යවරයා බීබීසි සිංහල සේවයට තහවුරු කළ අතර ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු පසුව ප්‍රකාශ කරන බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව නියෝජනය කරන සැම කණ්ඩායමක් ම ක්‍රීඩා ඇමතිවරයාගේ නිසි අවසරයක් ලබාගත යුතු අතර ක්‍රීඩා ඇමතිවරයාට කණ්ඩායමට අවසර දීම/නොදීම කළ හැකිය.

සාමාන්‍යයෙන් කණ්ඩායමක් විදේශගතවීමට පෙර එම කන්ඩායමේ ක්‍රීඩකයන් කවුරුන්දැයි ක්‍රිකට් ආයතනය මාධ්‍යට නිවේදනය කරන නමුත් මෙවර එවැන්නක් ද සිදු නොවිණි.

මෙසේ කණ්ඩායම ඉන්දියාව බලා නොගියේ කණ්ඩායම තේරීම පිළිබඳ ගැටලුවක් ද නැතිනම් නිසි ක්‍රමවේදයට අනුව අවසර නොගැනීම ද යන්න පැහැදිළි නැත.

කෙසේ වෙතත් ඊයේ ගුවන්තොටුපලට ගමන් කළ ක්‍රීඩකයන් අතර කුසල් මෙන්ඩිස් නොසිටි බව වාර්තා වේ. කුසල් මෙන්ඩිස් ටෙස්ට් සංචිතයෙන් ඉවත්කිරීම දැඩි ආන්දෝලනයකට ලක්විය. කෙසේ වෙතත් ඔහු එක්දින සංචිතයට ඇතුළුවනු ඇති බවට බොහෝදෙනා බලාපොරොත්තු පළකර තිබිණි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර