අනූෂා, මේරි කොම් සටනින් ශ්‍රී ලංකාව ජය ගනීද?

  • 2018 අප්‍රේල් 10
Image copyright Getty Images

'ගෝල්ඩ් කෝස්ට්' පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලෙහි ශ්‍රී ලංකාව නියෝජනය කරන අනූෂා කොඩිතුවක්‌කු පදක්කමක් දිනා ගැනීම අබියසට පැමිණ සිටියි.

අනූෂා කොඩිතුවක්‌කු පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලක බොක්‌සිං ඉසව්වක් සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා සිටින පළමු ක්‍රීඩිකාව වන්නීය.

මෙවර තරගාවලියේදී අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ඉන්දීය ලෝක ශූර බොක්‌සිං ක්‍රීඩිකාවක් වන මේරි කොම් සමග අප්‍රියෙල් 11 දින තරග වැදීමට නියමිතව ඇත.

එම තරගය අප්‍රියෙල් 11 දින ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 7.32ට (ඔස්ට්‍රේලියානු වේලාවෙන් දහවල් 12.02) ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වේ.

අනූෂා කොඩිතුවක්‌කු මෙම තරගයට සහභාගි වන්නේ තරග සැලසුම් අනුව ස්ථිරවම ඇයට පදක්කමක් හිමි අවස්ථාවකය.

බොක්සිං ක්‍රීඩාවේදී රන්, රිදී සහ ලෝකඩ පදක්‌කම් දෙකක්‌ පිරිනැමෙන අතර මෙම තරගයෙන් පරාජය වුවද ඇයට ලෝකඩ පදක්කමක් හිමිවීම ඊට හේතුවයි.

මේ වනවිට තිස්නව වැනි වියේ පසුවෙන අනූෂා කොඩිතුවක්‌කුගේ බලාපොරොත්තුව මෙම තරගය ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබ ශ්‍රී ලංකාවට රන් හෝ රිදී පදක්කමක් ගෙන ඒමය.

"අනූෂා කොඩිතුවක්කු සහ තිවංක රණසිංහ අවසාන පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලැබ සිටිනවා. ඔවුන් දෙදෙනාම එම තරඟ වලින් ජයගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන් ජයග්‍රහණය කළොත් අවසාන තරඟයට සුදුසුකම් ලබනවා.එහිදී ලබන ජය හෝ පරාජය අනුව රන් හෝ රිදී පදක්කම් වලට ඔවුන් සුදුසුකම් ලබනවා" ශ්‍රී ලංකා ආධුනික බොක්සිං ක්‍රීඩා සම්මේලනයේ සභාපති ඩයන් ගෝමස් ඔස්ට්‍රේලියාවේ 'ගෝල්ඩ් කෝස්ට්' ක්‍රීඩා භූමියේ සිට බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් සඳහන් කළේය.

කෙසේවුවද, එම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව මූලික තරඟ වට ජයග්‍රහණය කර ඇති හෙයින් බොක්සිං ක්‍රීඩාව අතින් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක් ලැබීම සීයට සීයක් සහතික වී ඇති බවත් ශ්‍රී ලංකා ආධුනික බොක්සිං ක්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයා පවසයි.

Image copyright Getty Images
Image caption දිනූෂා හංසනී ගෝමස්, කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූහ

ඔලිම්පික් පදක්කම්ලාභී බොක්සිං ක්‍රීඩිකාවක් වන මේරි කොම් සමග අනූෂා කොඩිතුවක්කු 2016 වසරේ අවසන් වරට තරග කළ නමුත් එම තරගයේදී ඇති වූ ආබාධිත තත්වයක් නිසා ඇයට වසරකට අධික කාලයක් බොක්‌සිං ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදු විය.

කෙසේ වුවද, අනූෂා සහ මේරි අතර බොක්සිං පොරය උණුසුම් එකක් වනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ පවසති.

2014 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අනූෂා කොඩිතුවක්කුට අහිමි වූ අතර, එම තරගයට පෙර ඇය රිය අනතුරකට ගොදුරු වීම ඊට හේතු විය.

මෙවර තරඟාවලිය නියෝජනය කරන ඇය අවසන් පූර්ව තරඟයට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් "තරඟය ජයගත හැකි බවට දැඩි ආත්ම විශ්වාසයක් තමන් සතු බව" කියා සිටියාය.

මේ අතර, දශක ගණනාවකට පසු පිරිමි බොක්සිං පදක්කමක් තහවුරු කර ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්ව ඇත.

තිවංක රණසිංහගෙන් පදක්කමක්

කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වදින තිවංක රණසිංහ අප්‍රියෙල් 10 වෙනි දින සිය අර්ධ අවසන් පූර්ව තරගය ජය ගැනීමත් සමග එම තත්වය උදා විය.

Image caption 21 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ 'ගෝල්ඩ්කෝස්‌ට්'‌ නගරයේය

තිවංක රණසිංහ අප්‍රියෙල් 13 වෙනි දින ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.32ට එංගලන්තයේ ගාලාල් රෆායි සමග සිය අවසන් පූර්ව තරඟයට සහභාගි වීමට නියමිතය.

විසිපස් හැවිරිදි තරුණ ක්‍රීඩකයකු වන තිවංක රණසිංහ දැනටමත් ලෝකඩ පදක්කමක් දිනා සිටින අතර, අප්‍රේල් 13 වෙනි දින ජයගතහොත් ඔහු අවසන් මහ තරගයට සුදුසුකම් ලබා රන් පදක්කම අබියසට ලංවනු ඇත.

2010 වසරේ පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවේ මංජු වන්නිආරච්චි බොක්‌සිං රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුවත් තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනා යටතේ එම පදක්කම පසුව අහිමි කරනු ලැබුණි.

සබැඳි පුවත්: