පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා: ක්‍රීඩකයන් පිරිසක් අතුරුදහන්

  • 2018 අප්‍රේල් 13
Image caption බර ඉසිලීමේ ශූරියක වන Arcangeline Fouodji Sonkbou ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදහන්ව ඇතැයි කැමරූන් ක්‍රීඩා සංවිධායකයෝ පවසති

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා අප්‍රිකානු රටවල් කීපයකින් 'ගෝල්ඩ් කෝස්ට්' නගරයට පැමිණ සිටි ක්‍රීඩකයන් ගණනාවක් අතුරුදහන්ව ඇතැයි ඔස්ට්‍රේලියානු සංවිධායකයෝ පවසති.

රුවන්ඩා සහ උගන්ඩා යන රටවලින් පැමිණ සිටි අතුරුදහන් ක්‍රීඩකයන් කීප දෙනකු සොයා ගැනීම සඳහා සෝදිසි කරමින් සිටින බවත් එම සංවිධායකයෝ සඳහන් කරති.

එම උගන්ඩා සහ රුවන්ඩා ක්‍රීඩකයන්ට පෙර කැමරූන් ක්‍රීඩකයන් අට දෙනකුත් ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදහන් වූ බව වාර්තා වෙයි.

එම ක්‍රීඩකයන් සොයා ගැනීමේ මෙහෙයුම පෙරට යමින් පවතී.

මේ අතර අතුරුදහන් වූ සියරාලියෝන් 'ස්කොෂ්' (squash) ක්‍රීඩකයන් දෙදෙනකු සිටින තැනක් සොයා ගැනීමටත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සංවිධායකයෝ උත්සාහ කරමින් සිටිති.

2000 වසරේ පැවැත්වුන සිඩ්නි ඔලිම්පික් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සියයකට අධික පිරිසක් ඔවුන්ට නියමිත වීසා කාලය ඉක්මවා එරට ගත කළ බව එකල ප්‍රකාශයට පත් කෙරුණි.

Image caption විසි එක්වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ 'ගෝල්ඩ් කෝස්‌ට්' නගරයේය

නේවාසිකාගාරයන්හි සිටි කැමරූන් ක්‍රීඩකයන් අට දෙනා අතුරුදහන්ව ඇති බව ක්‍රීඩා උළෙලේ සංවිධායකයන් විසින් තහවුරු කරනු ලැබ ඇත.

කැමරූන් කණ්ඩායමේ මාධ්‍ය සම්බන්ධීකාරක සයිමන් මොලොම්බේ (Simon Molombe) බීබීසියට ප්‍රකාශයක් කරමින්, ක්‍රීඩකයන්ගේ අතුරුදහන් වීම "පළා යාමක්" ලෙස සලකන අතර ඔවුන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු පොලිසියට වාර්තා කරන ලද බව කියා සිටියේය.

"කැමරූන් දේශය නියෝජනය කරන බර ඉසිලීමේ ක්‍රීඩකයන් තිදෙනා සහ බොක්සිං ක්‍රීඩකයන් පස්දෙනා පසුගිය සඳුදා සහ අඟහරුවාදා ස්ථාන කීපයක සිටිනු අවසන් වරට දැක ඇතැයි," සයිමන් මොලොම්බේ පවසයි.

එම ක්‍රීඩකයන්ට මැයි 15 තෙක් ඔස්ට්‍රේලියානු වීසා ඇති බව කැමරූන් බලධාරීහු පවසති.

ක්‍රීඩකයන් පළා යාම නිසා කැමරූන් බලධාරීන් දැඩි බලාපොරොත්තු සුංවූ තත්වයකට පත්ව සිටින බව සඳහන් කළ මාධ්‍ය සම්බන්ධීකාරක සයිමන් මොලොම්බේ (Simon Molombe) පළා ගිය ඇතමුන් සහභාගී විය යුතු තවත් තරග තිබුණ බවත් සඳහන් කළේය.

එම පුද්ගලයන් ආපසු ක්‍රීඩා ගම්මානයට පැමිණ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සමඟ ආපසු සියරට බලා ගමන් ගනු ඇතැයි ඉතසිතින් බලාපොරොත්තු තබන බවත් ඔහු පවසයි.

නියමිත වීසා කාලය ඉකුත්ව යාමෙන් පසු රැඳී සිටින ක්‍රීඩකයන්ට ඔස්ට්‍රේලියානු ආණ්ඩුව අනතුරු ඇඟවීමක් කර ඇත.

උද්ගත වී ඇති අර්බුදය නිරීක්ෂණය කරමින් සිටින බව පවසන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය, කෙසේවුවද, ක්‍රීඩකයන්ට ඔවුන්ගේ වීසා බලපත් අනුව නිදහසේ සංචාරය කිරීමට අවසර ලැබෙන බවත් පෙන්වා දෙයි.

'ක්වීන්ස්ලන්ත' ප්‍රාන්ත ආණ්ඩුවේ ඇමැතිවරියක වන කේට් ජෝන්ස්ට අනුව මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම ආණ්ඩුව දැනුවත් කරනු ලැබ ඇත.

2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළියට පැමිණි කැමරූන් ක්‍රීඩකයන් දොළොස් දෙනකු ද අතුරුදහන් වූ බව වාර්තා විය.

සබැඳි පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර