රජ පවුලට තවත් පුත් කුමරෙක්

  • 2018 අප්‍රේල් 23
Image copyright PA
Image caption විලියම් -කැතරින් යුවළ සිය පළමු දරුවන් දෙදෙනා සමඟ

විලියම් කුමරාගේ බිරිඳ වන කේම්බ්‍රිජ් ආර්යාව පුතෙකු ප්‍රසූත කළ බව කෙන්සින්ටන් මාළිගය නිවේදනය කළේය.

ලන්ඩන් නගරයේ ශාන්ත මේරි රෝහලේ දී උපත ලද බිලිඳු කුමරා බරින් රාත්තල් අටක් සහ අවුන්ස හතක් වන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් පස්වැන්නා වෙයි.

2013 වසරේ සිදු කරන ලද නෛතික වෙනස්කම් අනුව නව බිලිඳු කුමරාගේ සොහොයුරිය වන චාලට් කුමරිය රාජ්‍යත්වයට සැපත්වීමේ අයිතිය අතින් සිව්වෙනි තැන හිමිකර ගත්තාය.

එම වෙනස හඳුන්වා දීමට පෙර කාන්තාවකට කිරුළ දැරීමේ අයිතිය උරුම වුණේ පවුලේ පිරිමින් නොසිටියොත් පමණි.

Image copyright PA
Image caption ලන්ඩන් ශාන්ත මේරි රෝහල ඉදිරිපිට බලා සිටින ශුභ පතන්නන් පිරිසක්

විලියම් -කැතරින් රාජකීය පවුලේ පළමු දරුවා වන ජෝර්ජ් කුමරු 2013 වසරේත් එම පවුලේ දෙවැන්නිය වන චාලට් කුමරිය 2015 වසරේත් උපත ලැබූහ.

මව් ආර්යාව සහ බිළිඳු කුමරා යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවෙන බවත් කෙන්සින්ටන් මාළිගය පවසයි.

නව කුමරාගේ නම පසුව ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතය.

බිළිඳු කුමරා සඳහා නම් කීපයක් දැනටමත් යෝජනා වී ඇති අතර ආතර්, ඇල්බට් , ෆෙඩ්රික්, ජේම්ස් සහ පිලිප් යන නම් ඒවා අතර ඉදිරියෙන්ම ඇත.

විලියම් කුමරුන් සහ කැතරින් ආර්යාවට ශුභ පැතුම් පණිවුඩයක් යවන බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, (Theresa May) "දීප්තිමත් අනාගතයක් සඳහා ඔවුන්ට ශුභ පතන" බව කියා සිටියාය.

උරුමය අනුව නව කුමරාට බ්‍රිතාන්‍ය ඔටුන්න සඳහා හිමිවෙන ස්ථානය මෙම සටහනෙහි දැක්වෙයි.

Image caption මෙම සටහන අනුව නව බිළිඳු කුමරා රාජ්‍යත්ව උරුමය අතින් සිටින්නේ පස්වෙනි ස්ථානයේය

"පුත් කුමරකු ඉපදීම සම්බන්ධයෙන් ලන්ඩන් නගරවාසීන් වෙනුවෙන් කේම්බ්‍රිජ් ආදිපාදවරයාට සහ අදිපාදවරියට උණුසුම් ශුභ පැතීමට මම කැමැත්තෙමි" ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් විසින් යවන ලද පණිවුඩයෙහි දැක්වෙයි.

සබැඳි පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර