තරග සංචාරයකට ආ බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයෙක් මිය යයි

තරග සංචාරයට පැමිණි රග්බි කණ්ඩායම Image copyright Columbus Tours Sri Lanka/Facebook
Image caption තරග සංචාරයට පැමිණි රග්බි කණ්ඩායම

සුහද රග්බි තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය 'Clems Pirates Rugby' කණ්ඩායමේ ක්‍රීඩකයකු මියගොස් තවත් ක්‍රීඩකයකු දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පොලිසිය පවසයි.

සෙනසුරාදා කොළඹ 'CR & FC' කණ්ඩායමත් සමග පැවති තරගයකින් අනතුරුව එම කණ්ඩායමට අයත් ක්‍රීඩකයන් රාත්‍රී සමාජ ශාලාවකට ගොස් තිබේ.

ඉරිදා අලුයම යළි නවාතැන් ගෙන සිටින හෝටලයට පැමිණි පසු උදෑසන 10ට පමණ ක්‍රීඩකයන් දෙදෙනෙකු හුස්ම ගැනීමේ අපහසුතාවක් පිළිබඳ දැනුම් දී ඇත.

වහාම ඔවුන් රෝහල්ගත කිරීමට හෝටල් බලධාරීන් පියවර ගෙන තිබෙන අතර ඉන් එක් ක්‍රීඩකයකු ඉරිදා (මැයි 13) දහවල් 12 ට පමණ මිය ගිය බව පොලිසිය පැවසීය. එසේම තවත් ක්‍රීඩකයකු මේවන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය සඳහන් කළේය.

"පෞද්ගලිකත්වයට ගරු කරන්න"

ක්‍රීඩකයාගේ මරණය ගැන බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ ප්‍රකාශයක් කළ කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් තමන් මියගිය සහ රෝහල්ගත කර සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පවුලේ සාමාජිකයන් සමග සම්බන්ධතා පවත්වමින් සිටින බවය.

ඒ පිළිබඳ ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය සමග අදහස් හුවමාරු කරගනිමින් සිටින බව ද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ඩර්හැම් සිටි රග්බි පාපන්දු සමාජය, මේ දුෂ්කර අවස්ථාවේ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් ජනමාධ්‍යවලින් ඉල්ලීමක් කරයි.

ඉක්මනින් වැඩි විස්තර සහිත නිවේදනයක් නිකුත් කරන බව ද පාපන්දු සමාජය වැඩිදුරටත් පවසයි.

බ්‍රිතාන්‍ය 'Clems Pirates Rugby' කණ්ඩායම සුහද රග්බි තරග දෙකක් සඳහා මැයි 9 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණි අතර 11 වෙනිදා ඔවුහු කොළඹ 'CR & FC' කණ්ඩායම සමග තරග වැදුණාහ. එසේම මැයි 15 වෙනිදා නාවික හමුදා කණ්ඩායම සමග වැලිසරදී ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා රග්බි සංගමය පැවසුවේ කොළඹ 'CR & FC' කණ්ඩායම සමග පැවති තරගයේ දී සැලකිය යුතු කිසිදු සිදුවීමක් වාර්තා නොවූ බවය.

කෙසේවෙතත්, අදාළ බ්‍රිතාන්‍ය ක්‍රීඩකයාගේ මරණය පිළිබඳව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳුදා (මැයි 14) සවස පැවැත්වීමට නියමිතය.

මේ තොරතුරුද කියවන්න: