ක්‍රිකට් 'විකට්ටුව වෙනස් කිරීම': අල් ජසීරා සහ ලසිත් මාලිංගගේ චෝදනා ගැන තිලංග

Image copyright Getty Images
Image caption ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් දූෂණවලට සම්බන්ධ බවට "කිසිදු විශ්වසනීය සාක්ෂියක්" පිළිබඳ තමන් දැනුවත් නොමැති බව ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ප්‍රධානීහු පවසති.

'අල් ජසීරා' රූපවාහිනී සේවය විසින් ඉරිදා විකාශනය කරන ලද වාර්තා වැඩසටහනක් මගින් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දූෂණ සම්බන්ධයෙන් අලුතින් චෝදනා එල්ල විය.

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය වැනි ක්‍රිකට් කණ්ඩායම් සම්බන්ධ ටෙස්ට් තරග සඳහා විකට්ටුව (pitch) වෙනස් කිරීම පිණිස තණතිල්ල භාරව කටයුතු කරන පුද්ගලයන්ට අල්ලස් ලබා දීමේ චෝදනා අල් ජසීරා වාර්තා වැඩසටහනට ඇතුළත් වේ.

ඒ සම්බන්ධයෙන් අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

තරග පාවාදීම සම්බන්ධයෙන් අල් ජසීරා වැඩසටහන මගින් එල්ල කරන ඇතැම් චෝදනා අතර ශ්‍රී ලංකාව තුළ ටෙස්ට් තරග පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ද ඇතුළත්ය.

"සංස්කරණය නොකරන ලද දර්ශන නැරඹීමට අවස්ථාවක් නොලැබුන ද, විශ්වසනීය චෝදනා ඉතාමත් බරපතල ලෙස සලකා බලා සම්පූර්ණ වශයෙන් විමර්ශනයට ලක් කිරීම මෙවැනි සිදුවීම් සම්බන්ධ අපේ දීර්ඝ කාලීන ස්ථාවරය වී තිබේ," යනුවෙන් ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ ප්‍රධාන විධායක ජේම්ස් සදර්ලන්ඩ් සඳහන් කළේය.

Image copyright Getty Images
Image caption ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

"තරගය තුළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දූෂණ සඳහා සම්බන්ධ බවට පවතින විශ්වසනීය සාක්ෂි පිළිබඳ අයිසීසී ආයතනය හෝ ක්‍රිකට් ඔස්ට්‍රේලියා දැනුවත් නැත."

"සංස්කරණය නොකරන ලද සියලුම දර්ශන සහ අනෙකුත් සාක්ෂි අයිසීසී විමර්ශන කණ්ඩායම වෙත ලබා දෙන මෙන් අප, අල් ජසීරා සේවයෙන් ඉල්ලා සිටිනවා. එවිට අවශ්‍ය නම් සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය හැකියි."

තරග පාවාදීම සම්බන්ධයෙන් පැවැත්වෙන ඕනෑම පරීක්ෂණයකට සිය "පූර්ණ සහයෝගය" ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට ඉහතදී පැවසීය.

ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පවත්වනු ලබන පරීක්ෂණයට සිය සහාය ලබා දෙන බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය ද ප්‍රකාශ කළේය.

වාර්තා වැඩසටහන මගින් චෝදනා ලද සිය ක්‍රීඩකයෙකු සමග එහි ඇති සම්බන්ධය පිළිබඳ වාර්තා නිරීක්ෂණය කරමින් සිටින බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබිණි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මීට ඉහතදී ක්‍රීඩා බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී බොහෝ අවස්ථාවල කණ්ඩායම ඉල්ලා සිටින විකට්ටුව වෙනුවට වෙනස් විකට්ටුවක් ලබාදීම පිළිබඳ විවේචනාත්මකව අදහස් පළ කළේය.

Image copyright Sri Lanka Cricket
Image caption ලසිත් මාලිංග මතු කළ චෝදනා ගැන පරීක්ෂණයට මොකද වුනේ?

ඔහු මතු කළ චෝදනා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව ඒ අවස්ථාවේ ක්‍රීඩා බලධාරීහු සඳහන් කළහ.

අල් ජසීරා වාර්තා වැඩසටහන විකාශනය වීමත් සමග ලසිත් මාලිංග කළ ඉහත කී ප්‍රකාශය උපුටා දක්වමින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තුළ අදහස් පළ කර තිබෙන ආකාරය මේ දිනවල දැකගත හැක.

එසේ විකට්ටුව වෙනස් කිරීම ගැන ලසිත් මාලිංග මීට ඉහතදී ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට ලක් කළා නොවේදැයි බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාලගෙන් විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ලසිත් මාලිංග නොයෙක් අවස්ථාවන්හි විවිධ ප්‍රකාශ කර ඇති බවය.

"අපිට ඒ ප්‍රකාශ ගැන කියන්න දෙයක් නැහැ. අනික එයා කීප වතාවක්ම 'කියපු එක වැරදුනා' කියලා නැවත සමාව ගත්ත එක්කෙනෙක්," යනුවෙන් තිලංග සුමතිපාල සඳහන් කළේය.

කෙසේ නමුත් අල් ජසීරා වැඩසටහන හරහා එල්ලවන චෝදනා පිළිබඳ සොයා බැලීම සඳහා සිය ආයතනය පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අල් ජසීරා වැඩසටහනෙන් එල්ලවන චෝදනා, ලසිත් මාලිංගගේ විවේචනය ඇතුළු කරුණු පිළිබඳ විමසීම පිණිස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.

තවත් කියවන්න: