ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගාවලිය: සුරංග ලක්මාල් නායකත්වයට

Image copyright Getty Images

ශ්‍රී ලංකාව සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග බ්‍රහස්පතින්දා (ජුලි 12) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ටෙස්ට් තරගාවලියේ නායකත්වය සඳහා සුරංග ලක්මාල් පත් කරනු ලැබ ඇත.

පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කර ක්‍රීඩාවේ ජීව ගුණයට එරෙහි වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ වෙත පැනවුණු තරග තහනම හමුවේ ඔවුන් ඉහත කී ටෙස්ට් තරගාවලියට ඇතුළත් නොවේ.

ඉහත කී චෝදනාව තුන්වෙනි තලය (Level 3) යටතට වැටෙන බරපතල වරදක් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

නායක දිනේෂ් චන්දිමාල් පුහුණුකරු චන්දිම හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ ඉහත කී චෝදනාවට වරදකරුවන් වන බැවින් ඔවුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරග දෙක සඳහා සහභාගී නොවීමට එකඟත්වය පළ කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ ට්විටර් පනිවුඩයක දැක්වේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පසුගියදා පැවති දෙවෙනි ටෙස්ට් තරගය අතරතුර එල්ලවූ පන්දුව පළුඳු කිරීමේ චෝදනාව හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පිල පිටියට පිවිසීම ප්‍රමාද කිරීමෙන් ක්‍රීඩාවේ ජීව ගුණයට එරෙහි වී ඇති බවට ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා, පුහුණුකරු සහ කළමනාකරුට චෝදනා එල්ල විය.

එය කිසිලෙසකින් අනුමත කළ නොහැකි විනය කඩකිරීමක් බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පසුගියදා පැවසීය.

ජූනි 15 කොදෙව් පිල සමග පැවති තරගයේ අවසන් සැසිවාරයේදී, ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සිය වම් සාක්කුවෙන් යම් කිසි ද්‍රව්‍යක් පිටතට ගෙන එය මුඛයේ දමා පසුව එය පන්දුවේ දවටා පන්දුව පළුඳු කළ බවට ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා නායකයාට චෝදනා කළේය.

එම චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් පනවනු ලැබීය.

ඒ අනුව කොදෙවු පිල සමඟ පැවති ටෙස්ට් තරගයක් ඔහුට තහනම් කෙරිණි.

ඊට අමතරව ටෙස්ට් තරගය සඳහා ඔහුට ගෙවන ලද සම්පූර්ණ මුදල දඩ වශයෙන් අයකර ගැනීමටත්, දඬුවම් ලකුණු දෙකක් ලබාදීමටත් තරග තීරක ජවගාල් ශ්‍රීනාත් තීරණය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර