ක්‍රිකට් තරග පාවා දීමේ චෝදනා ගැන අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා ගෙන් තිලංග සුමතිපාලට පිළිතුරු

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් පළමුවරට නම් සඳහන් වුයේ අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වා හිටපු නායකයන්ගේ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල පසුගියදා බරපතල චෝදනාවක් එල්ල කළේය.

2001 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස මෙම චෝදනාව සඳහන් වූ වාර්තාව පරික්ෂා කර දඬුවම් නොදීම ගැන තමන් ක්‍රිකට් ප්‍රජාවගේ විවේචනයට ලක්වූ බව ඔහු ප්‍රකාශ කළේය.

"අර්ජුනට සහ අරවින්දට තමයි පළවැනි වතාවට සල්ලිවලට තරග පාවා දුන්නා කියලා ලංකා ඉතිහාසයේ නම සඳහන් වෙන්නේ. ඩොලර් 15000ක් ගත්තා කියලා ලිඛිතව අපිට වාර්තා එවලා තිබුණා. ඒ වෙලාවේ පරීක්ෂණ කරලා ඔවුන්ට දඬුවම් කළේ නෑ කියලා මුළු ලංකාවෙම ක්‍රිකට් ප්‍රජාව මට බනිනවා. හොරෙක් නම් හොරකම් කළා කියලා ප්‍රසිද්ධ කරන්න තිබුණා," තිලංග සුමතිපාල සිය ප්‍රකාශයේ සඳහන් කර තිබුණි.

1994 වසරේ ඉන්දියාවේ ලක්නව්හි පැවති ක්‍රිකට් තරගයක් පාවා දීම සඳහා අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වා මුදල් ලබාගත් බවට ඉන්දීය ජාතික බුකිකරුවෙකු චෝදනා කර තිබු නමුත් ඒ චෝදනා සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි ඔහු ඉදිරිපත් නොකළේය.

කෙසේ නමුත් ඒ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රාජ නීතිඥ ඩෙස්මන්ඩ් ප්‍රනාන්දුගේ මුලිකත්වයෙන් පරික්ෂණයක් පැවැත්වුණු අතර එහිදී අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වා නිදොස් කොට නිදහස් කර තිබුණි.

Image copyright Getty Images

මෙම චෝදනාව ඉදිරිපත් වූ 2001 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධුරය දරනු ලැබුවේ තිලංග සුමතිපාල විසිනි.

වසර 17කට පසු මේ ගැන තිලංග සුමතිපාල එල්ල කළ චෝදනාව ගැන පිළිතුරු දීම සඳහා අමාත්‍ය අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එහිදී අදහස් දැක්වූ අරවින්ද ද සිල්වා පැවසුවේ අතීතයේ තමන් නිදහස් කළ චෝදනාවක් නැවත කරළියට ගෙන ඒමේ අරමුණ තමන් නොදන්නා බවය.

"මම ක්‍රිකට් බෝඩ් එකේ ක්‍රිකට් කමිටුවේ හිටියා, එයා මට වරින් වර කිව්වා උප සභාපති වෙලා එන්න කියලා, මට ඒ වගේ චෝදනාවක් තිබ්බ නම් එයාට යුතුකමක් තිබුනා මට කතා නොකර ඉන්න."

තමන්ට මෙවැනි බරපතල චෝදනාවක් ඇත්නම් තිලංග සුමතිපාල මෑතක් වනතුරු තමන් ක්‍රිකට් කමිටුවේ රඳවා ගත්තේ ඇයිදැයි අරවින්ද ද සිල්වා මෙහිදී ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දායකත්වයක් දැක්වීමට තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධව සිටි බව පැවසූ අරවින්ද ද සිල්වා තමන් ඇතුළු කණ්ඩායම් ඉදිරිපත් කළ අදහස් ක්‍රියාත්මක නොකිරීමේ තත්වය මත ඉන් ඉවත්වූ බව ද පැවසීය.

තමන් කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඒ සඳහා මුදලක් ලබාගෙන නොමැති බව පැවසූ ඔහු තේරීම් කමිටු සාමාජිකයකු ලෙස තමන්ට හිමිවූ මුදල් චෙක්පත්ද නැවත ක්‍රිකට් ආයතනයට ලබාදුන් බවත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන විටත් තමන්ට මෙවැනි චෝදනා එල්ල වූ බව ඔහු සිහිපත් කළේය.

"ගහන කාලේත් කියල තියෙනවනේ කාර් එකක් දැක්කොත් විතරයි මම ගහන්නේ කියලා. ඒවා අහල තියෙන නිසා මම මේවා ගණන් ගන්නේ නැහැ කීයටවත්."

මෙහිදී අදහස් දැක්වූ හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ තමන්ට මෙතරම් මුදලක් අවශ්‍යනම් ඒ අවදියේ වෙළෙඳ දැන්වීමකට පෙනී සිට තමන්ට එය ලබාගත හැකිව තිබුණු බවය.

තමන් සහ අරවින්ද ද සිල්වා මුදලට ක්‍රිකට් ක්‍රීඩා නොකරන බැවින් ඒ අවදියේ බුකී ව්‍යාපාර වලට සම්බන්ධ පිරිස් මෙවැනි චෝදනා වලට තමන් සම්බන්ධ කිරීමේ අසාර්ථක උත්සාහයක නියැළුණු බව අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් පැවසීය.

තවත් කියවන්න: