වසර 59ක් පැරණි ලාබාලතම මංගල ශතක වාර්තාව ඉන්දියාවේ ප්‍රිත්වි ෂෝ බිඳ හෙළයි

Image copyright Clint Hughes/Getty Images
Image caption ප්‍රිත්වි ෂෝ

මංගල ටෙස්ට් තරගයකදී ශතකයක් වාර්තා කළ ලාබාලතම ඉන්දීය පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය නවක ආරම්භක පිතිකරු ප්‍රිත්වි ෂෝ අද (04) සමත් විය. ඔහු මෙම දස්කම දැක්වූයේ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග රාජ්කොට්හිදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදීය.

18 හැවිරිදි ප්‍රිත්වි ෂෝ සිය මංගල ශතකය වාර්තා කළේ, පන්දු 99කට මුහුණ දෙමිනි. ඊට හතරේ පහර 15ක් ඇතුළත් විය. මීට පෙර මංගල ටෙස්ට් තරගයකදී ශතකයක් වාර්තා කළ ලාබාලතම ඉන්දීය පිතිකරුවා වූයේ, අබ්බාස් අලි බායිග්ය.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කළ සිව් වන ලාබාලතම ක්‍රීඩකයා බවට ප්‍රිත්වි පත්වූ අතර සචින් ටෙන්ඩුල්කාර්ට පසු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ශතකයක් රැස් කළ දෙවන ලාබාලතම ක්‍රීඩකයා ද ඔහුය.

ඔහුගේ මෙම සුවිශේෂී ඉනිම ලකුණු 134කට සීමා වූ අතර ඒ සඳහා ඔහු හතරේ පහර 19ක් එල්ල කර තිබිණි.

අබ්බාස් අලි බෙයිග්

මීට පෙර ඉන්දියාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ ලාබාලතම ක්‍රීඩකයා වූ අබ්බාස් අලි බෙයිග් එම දස්කම දැක්වූයේ, වයස අවුරුදු 20කුත් දින 131ක් ගතව සිටියදී ය. 1959 වසරේ එංගලන්තයට එරෙහිව ඔහු එම දස්කම දැක්වීය.

එහෙත්, වසර 59ක් පැවති එම වාර්තාව බිඳ හෙළමින් ප්‍රිත්වි ෂෝ ශතකය වාර්තා කළේ, වයස අවුරුදු 18කුත් දින 329ක් ගෙවී තිබියදී ය.

සචින් ටෙන්ඩුල්කාර්

මේ අතර, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වැඩි ම ටෙස්ට් ලකුණු ලාභියා වන සචින් ටෙන්ඩුල්කාර් 1990 වසරේදී එංගලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරන විට ඔහුගේ වයස අවුරුදු 17යි දින 112ක් විය.

ලෝකයේ ලාබාලතම මංගල ටෙස්ට් ශතකලාභියා

මංගල ටෙස්ට් තරගයකදී සිය මංගල ශතකය වාර්තා කළ ලොව ලාබාලතම පිතිකරුවා වන්නේ, බංග්ලාදේශයේ මොහොමඩ් අෂ්රෆුල් ය. 2001 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව ඔහු මෙම දස්කම දැක්වූයේ, වයස අවුරුදු 17 කුත් දින 61ක් ගතවී සිටියදී ය.

මේ තොරතුරුද දැනගන්න: