ක්‍රිකට්: ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලිය ගැන පෙර විපරමක්

පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම යළිත් ජයග්‍රාහී මාවතකට යොමු කිරීමේ අරමුණින් නව නායක දිනේෂ් චන්දිමාල් යටතේ ශ්‍රී ලංකාව බදාදා එංගලන්තය සමග තරග බිමට පිවිසීමට නියමිතය.

දිවා - රාත්‍රී තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු තරගය පැවැත්වෙන්නේ, රන්ගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ය. කණ්ඩයාම් දෙකම වර්ෂාව මැද පසුගිය දින කිහිපය පුරා පුහුණුවීම්වල නිරත වනු දක්නට ලැබිණි.

කෙසේ වෙතත්, අඟහරුවාදා (ඔක්තෝබර් 09) උදෑසන ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සැසිය අවලංගු කෙරිණ.

අර්බුද රැසක් මැද මෙම තරගාවලියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය බෙහෙවින් වැදගත් වන්නේ, තමන්ගෙන් දිනෙන් දින ගිලිහී යන ප්‍රේක්ෂක සහාය යළි දිනා ගැනීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවසන් එක්දින තරගාවලිය මෙය බැවිනි.

ආසියානු කුසලානයෙන් ලැබූ පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්වූ අතර මෙම තරගාවලිය ද යම් හෙයකින් තරගකාරිත්වයක් නොදක්වා පරාජයට පත්වුවහොත් ඇති වන තත්ත්වය ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩා බලධාරීන් ද හොඳින් අවබෝධ කරගෙන ඇති බව ශ්‍රී ලංකා කණ්ඩයාමේ පුහුණුකරුවෙක් බීබීසි සිංහල සේවයට පැවසීය.

මේ වන විට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ අංක 1 ස්ථානයේ සිටින එක්දින කණ්ඩායම එංගලන්ත කණ්ඩායමය. දකුණු ආසියාතික තණතීරුවල ඉන්දීය ප්‍රිමියර් ලීග් වැනි තරගාවලි සඳහා ක්‍රීඩා කරන ප්‍රවේගකාරී පිතිකරුවන් රැසකින් එංගලන්ත පිල සමන්විත වන අතර ඔවුන් සතුව ලෝකයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද සිටිති.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව මේ වන විට 8 වෙනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වසරේ සිට ක්‍රීඩා කර ඇති එක්දින තරග 40න් ජයගෙන ඇත්තේ 10ක් පමණි.

චන්දිමාල්ට තීරණාත්මකයි

මේ තරගාවලියට ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ කණ්ඩායමේ හිටපු නායකයා හා ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස් නොමැතිවය. ඔහුගේ අඩුව ද ශ්‍රී ලංකා මැද පෙළට දැනෙනු ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ පැවසුවේ, කණ්ඩායමේ මැද පෙළ ස්ථානයක් තමන්ගේ කර ගැනීමට වෙනත් ක්‍රීඩකයෙකුට මෙය හොඳ අවස්ථාවක් බවය.

කණ්ඩායම තරගාවලිය සඳහා හොඳ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් දඹුල්ල ක්‍රීඩාංගණයේදී මාධ්‍ය අමතමින් පැවසීය. බදාදා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 11 දෙනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ ක්‍රීඩකයන් පන්දුවට පහර දෙන ස්ථාන නිතර වෙනස් කරන තත්ත්වයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්නට ලැබුණු අතර එම තත්ත්වය මගහැර මෙම තරගාවලියේ බොහෝ දුරට නිශ්චිත ස්ථානවල ක්‍රීඩකයන් පන්දුවට පහර දෙනු ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සාර්ථකව මෙහෙයවා එක්දින කණ්ඩායමේ නායකත්ව භාර ගත් දිනේෂ් චන්දිමාල්ට මෙම තරගාවලිය තීරණාත්මක එකක් වනුයේ, එක්දින පිතිකරුවෙකු ලෙස ඔහු දක්වන දස්කම් පසුගිය වසර තුළ අඩුවී තිබීම හේතුවෙනි. ඇන්ජලෝ මැතිව්ස් පසුගිය වසරේ අග භාගයේ නැවත එක්දින නායකත්වයට පත්වූයේ ද දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානයක් ලබාදීමේ ගැටලුවක් ඇති වූ හෙයිනි. මේ තත්ත්වය තුළ පිතිකරුවෙකු ලෙස ඔහු දක්වන දක්ෂතා ඔහුගේ නායකත්වය ස්ථිර කරගැනීමට හේතුවනු ඇත.

ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශය සමග පැවති තරගාවලියේ දස්කම් පාමින් නැවත ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් දිනාගෙන ඇති ලසිත් මාලිංගගේ ද ඉදිරි ක්‍රිකට් අනාගතය තීරණය කරන තරගාවලිය මෙය වනු ඇති බව ක්‍රීඩා විචාරකයන්ගේ අදහස වී තිබේ. විශේෂයෙන්ම ප්‍රවේගකාරී එංගලන්ත පිතිකරුවන්ට ඔහු සාර්ථකව පන්දු යැවුවහොත් ඔහුට අහිමි වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් වැනි තරගාවලිවලින් ද ඔහුට යළි කැඳවීමක් ලැබෙනු ඇති බව ඔවුන්ගේ මතයයි.

ශ්‍රී ලංකා පිලට මානසික සහය

තරග පාවා දීමේ චෝදනා හා වෙනත් අර්බුද රැසක් මැද සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය නැංවීම සඳහා ඔස්ට්‍රේලියානු මනෝ විශේෂඥ වෛද්‍ය ෆිල් ජෝන්සිගේ සහාය ද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ලබාගෙන තිබිණි.

සඳුදා පැවති පුහුණු සැසි වාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග වෛද්‍ය ෆිල් ජෝන්සි කටයුතු කරන ආකාරය දක්නට ලැබිණි. මින් පෙර අවස්ථාවක ද වෛද්‍ය ෆිල් ජෝන්සි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග කටයුතු කර තිබේ.

Image copyright @damith1994
Image caption ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ඇඳුමකින් සැරසී මෙවර තරගාවලියට එක්වීම ද විශේෂත්වයකි

එංගලන්තයේ සූදානම

අවසන් වරට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ එක්දින තරග සංචාරයකට සහභාගි වූයේ, 2014 වසරේදීය. තරග 7කින් සමන්විත වූ එම තරගාවලිය තරග 5-2ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට එවකට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාවේ සහභාගි වූ අවසන් තරගාවලිය වූ එම තරගාවලිය පිළිබඳව එංගලන්ත නායක ඉයන් මෝර්ගන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් දැක්වීය.

"ඒ තරගාවලියේ අපිට කුමාර් සංගක්කාරව නවත්වන්න බැරි වුණා. ඒවගේ ම කඩුලු දවා ගන්න හැකි වුණේ නැහැ. නමුත් අපි දැන් සම්පූර්ණයෙන් වෙනස් කණ්ඩායමක්," ඉයන් මෝර්ගන් පැවසීය.

තරගාවලියට පෙර එංගලන්තය සහභාගි වූ එකම පුහුණු තරගය ද පහසුවෙන් එංගලන්තය ජය ගත් අතර එහිදී එංගලන්තය පෙන්නුම් කළේ පන්දු යැවීමට වඩා තම පිතිකරණ අංශය ශක්තිමත් බවකි.

එංගලන්ත කණ්ඩායමේ කඩුළු රැකීම හා පන්දු රැකීම දියුණු කර ගැනීම සඳහා හිටපු ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධනගේ සහය ලබා ගැනීමට ද එංගලන්ත කණ්ඩායම කටයුතු කොට තිබිණි.

Image copyright Getty Images
Image caption මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ICC දූෂණ විරෝධී ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල්

දෙරට ක්‍රීඩා කර ඇති එක්දින තරග 69 න් ශ්‍රී ලංකාව ජයග්‍රහණ 34කුත් එංගලන්තය ජයග්‍රහණ 33කුත් මේ වන විට හිමි කරගෙන තිබේ. මෙම තරගාවලිය ජයගන්නා කණ්ඩායමට මෙම කරට කර ඇති ජයග්‍රහණ සංඛ්‍යාවෙන් ද ඉදිරියට පැමිණිය හැකි ය.

තරග පාවා දීමේ පරීක්ෂණ දිගටම

මේ අතර, මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ICC දූෂණ විරෝධී ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල්, කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් මුණගැසී තිබේ. බුකිකරුවන්ගෙන් සිදුවිය හැකි බලපෑම් සහ ඒවා වාර්තා කරන ආකරය ගැන එහිදී ඔහු ක්‍රීඩකයන්ට කරුණු පැහැදිලි කර තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ICC දූෂණ විරෝධී ඒකකය තවදුරටත් පරීක්ෂණ පවත්වන අතර අඟහරුවාදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකුගෙන් ද ඔවුන් ප්‍රශ්න කර තිබේ.

පසුගිය ඉරිදා පුවත්පතකට අදහස් දැක්වූ ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රකාශකයෙක් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් තිබූ චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන් පිරිසකගේ බව පැවසෙන නම් නිවැරදි නොවන බව ප්‍රකාශ කර තිබිණි. ඔහු පවසා තිබුණේ, ICC දූෂණ විරෝධී ඒකකය පරීක්ෂණ පවත්වන කිසිදු පුද්ගලයෙකුගේ නම් එලෙස හෙළි නොකරන බවය.

තවත් කියවන්න: