ක්‍රිකට් තරග 'පාවා දීම්' පිළිබඳ සාක්ෂි ජාත්‍යන්තර පොලිසියට භාර දීමට සැරසෙයි

Image copyright Getty Images

සිය විමර්ශන සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය (Interpol) සමග සාකච්ඡාවල නිරතව සිටින බව එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඇතුළු කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයින් තරග අවස්ථා පාවා දීම්වල නිරත වී ඇති බවට (spot-fixing) චෝදනා එල්ල කළ අල් ජසීරා (Al Jazeera) මාධ්‍යවේදියා පවසයි.

රූපවාහිනී වාර්තාමය වැඩසටහනක දැක්වුණේ, එංගලන්ත ක්‍රීඩකයින් සුළු කණ්ඩායමක් ද ඇතුළත් "ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ පෙළේ දූෂණ" සිදුවූ බවට සාක්ෂි අනාවරණය වී ඇති බවය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ, සිය දූෂණ මර්දන අංශය එම චෝදනා පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවය.

කෙසේ වෙතත්, එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළේය.

The Cricket Social වඩසටහන වෙනුවෙන් බීබීසී ක්‍රිකට් මාධ්‍යවේදී ජොනතන් ඇග්නිව් සමග අදහස් දක්වමින් අල් ජසීරා මාධ්‍යවේදී ඩේවිඩ් හැරිසන් තහවුරු කළේ, "තමන් විසින් සොයා ගනු ලැබූ කරුණු ජාත්‍යන්තර පොලිසිය වෙත භාර දීමට සාකච්ඡා කළ" බවය.

"අදාළ ක්‍රීඩකයින්ගේ නම් පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සහ අදාළ ක්‍රිකට් ආයතන දැනුවත් වී සිටිනවා, ඒ වගේ ම ඔවුන් ඊට අදාළ සියලු තොරතුරු ගැන දැනුවත්" හැරිසන් ප්‍රකාශ කළේය.

"මේක ඉතා ම බරපතළයි, මේ සාක්ෂි ඉතා ප්‍රබලයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කියනවා තවත් සාක්ෂි හොයමු කියලා, ඔවුන් වෙත යොමු කරන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා"

ඔහු පැවසුවේ, "මාධ්‍යවේදීන් හැටියට අපට ක්‍රීඩකයින්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න බැහැ. ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න තියෙන එක ම මාර්ගය එය නිසා" මේ චෝදනා ජාත්‍යන්තර පොලිසිය වෙත භාර දීමට ඔහු පියවර ගන්නා බවය.

Image copyright ICC
Image caption අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය

අදාළ තරග පාවාදීම් චෝදනා සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, අල් ජසීරා පුවත් සේවයේ සහයෝගය ඒ සඳහා අපේක්ෂා කරන බවත් එම කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් තහවුරු කළේය.

"මේ සම්බන්ධයෙන් සම්පූර්ණ සහ දැඩි විමර්ශනයක් සිදු කිරීම සඳහා එම රූපවාහිනී ආයතනයට විශාල කාර්යභාරයක් කළ හැකි නිසා ඔවුන්ව සමබන්ධ කර ගන්න නිරන්තරයෙන් උත්සහ කරනවා"

"මේ චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමට අපි වෘත්තීය ස්වාධීන විශ්ලේෂකයින් යොදා ගන්නවා."

කටාර්හි පිහිටි ස්වාධීන විමර්ශන සමාගමක් පැවසුවේ, 2011 සහ 2012 වසරවල සිට ජාත්‍යන්තර තරග 15කදී පමණ දූෂණ සිදුව ඇති බවය.

එංගලන්ත ප්‍රතිචාරය

Image copyright Getty Images
Image caption එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටී

මේ අතර, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් පවසන්නේ, අදාළ චෝදනා පිළිබඳව තැකීමක් නොකරන බවය.

"මං ඒ ගැන කිසි ම ක්‍රීඩකයෙකු සමග කතා කළේ නැහැ. ඒ, මට ඒ චෝදනා ගැන කිසි ම ගැටලුවක් නැති නිසා" එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත වේග පන්දු යවන්නෙකු වන මාර්ක් වුඩ් පැවසීය.

මේ අතර, එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පවසන්නේ, සිය ක්‍රීඩකයින් සම්බන්ධයෙන් අල් ජසීරා ආයතනය නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

එය "දුර්වල ආකාරයට සැලසුම් කළ" රූපවාහිනී වාර්තාවක් බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ශ්‍රී ලංකාවට එල්ල වූ චෝදනා

මේ අතර, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල්, ඔක්තෝබර් මස මුලදී ශ්‍රී ලංකාවට ද පැමිණ විමර්ශන කටයුතුවල නිරත විය.

ඔහු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සමග ද සාකච්ඡා කළ අතර, එම සාකච්ඡාවලින් අනතුරුව අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ තරග පාවාදීමේ "ඉතා භයානක" වාතාවරණයක් පවතින්නේ යයි අයිසීසී පාලක මණ්ඩලය තමන්ට දැනුම් දුන් බවය.

Image copyright FAIZER MUSTAPHA/FACEBOOK
Image caption ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට එරෙහිව එල්ල වී තිබෙන "බරපතල දූෂණ චෝදනා" සම්බන්ධ පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ICC දූෂණ විරෝධී ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් (Alex Marshall) විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

සිම්බාබ්වේ පිළේ ශ්‍රී ලංකා සංචාරය ගැන ලැබුණු පැමිණිලි මත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණ ආරම්භ කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සහ එවක තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය අවස්ථා කිහිපයකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රශ්න කිරීමකට ලක් වූහ.

වසරකට අධික කාලයක් මෙම පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන අතර පසුගිය සතියේ ද කොළඹදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ පුහුණුකරුවන් දෙදෙනෙක් ඔවුන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු වේගපන්දු යවන්නෙකු ද ඒ අතර සිටී.

ඔක්තෝබර් මස මුල් සතියේදී ශ්‍රී ලංකාවට පැමිණි ICC දූෂණ විරෝධී ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් සිය පරීක්ෂණය සම්බන්ධ සවිස්තර වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාර දීමට ද කටයුතු කළේය.

Image copyright AFP

සනත් ජයසූරියට චෝදනා දෙකක්

දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පිළිතුරු සැපයීම පිණිස සනත් ජයසූරියට ඔක්තෝබර් 15 සිට දින 14 ක කාලයක් ලබාදෙන බව පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සනත් ජයසූරියට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එල්ල කළ චෝදනා දෙක මෙසේ ය.

1. නීති සංග්‍රහයේ 2.4.6 වගන්තියට අනුව - අසමත් වීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම: පිළිගත හැකි හේතුවක් නොමැතිව දූෂණ විරෝධී ඒකකය මෙහෙය වූ කිසිදු පරීක්ෂණයකට සහයෝගය නොදැක්වීම සහ පරීක්ෂණයට අදාළ තොරතුරු සහ/හෝ ලේඛන නිවැරදි ලෙස සහ සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම.

2. නීති සංග්‍රහයේ 2.4.7 වගන්තියට අනුව - දූෂණ විරෝධී නීතිය යටතට ගැනෙන දූෂණයක් හෙළි කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණයට අදාළ හෝ පරීක්ෂණයේ සාක්ෂි විය හැකි වාර්තාවක් හෝ වෙනත් තොරතුරක් ආවරණය කිරීම, වෙනසකට භාජනය කිරීම හෝ විනාශ කිරීම, දූෂණ විරෝධී ඒකකය මගින් ක්‍රියාත්මක කළ පරීක්ෂණයට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් නිකුත් කළ නිවේදනයක් මගින් සනත් ජයසූරිය පැවසුවේ, "ක්‍රීඩාව සම්බන්ධයෙන් මා හැම විට ම අවංකාභාවයෙන් සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කළ අතර ඉදිරියේදී ද එය එසේ ම කරමි" යනුවෙනි.

දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පිළිතුරු සැපයීම පිණිස සනත් ජයසූරියට ඔක්තෝබර් 15 සිට දින 14 ක කාලය අවසන් වන්නේ, ඔක්තෝබර් 29 වන දා ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා අත්අඩංගුවට

මේ අතර, ඔක්තෝබර් 22 වෙනිදාපොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ක්‍රිකට් විකාශන අයිතිය සම්බන්ධ ගනුදෙනුවකදී රුපියල් කෝටි 3කට අධික මූල්‍ය වංචාවක් කර ඇති බවට සැක පිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී පියල් නන්දන දිසානායක පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවය.

ඔහු අඟහරුවාදා (ඔක් 23) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 01 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර