ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනා: නුවන් සොයිසාට තාවකාලික තහනමක්

Image copyright Getty Images

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිල වශයෙන් දූෂණ චෝදනා ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ඔහුට එසේ චෝදනා ඉදිරිපත් කර තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පාවාදීමට උත්සාහ දැරීම හා සම්බන්ධ, ඒ සඳහා ක්‍රීඩකයෙකු පොළඹවා ගැනීමට උත්සාහ දැරීම හා සම්බන්ධ සහ දූෂණවලට සම්බන්ධ වීම සඳහා සිදු වූ කිසියම් පෙළඹවීමක් අනාවරණය නොකිරීම හා අදාල වගන්ති යටතේය.

ඒ අනුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී පනතේ 2.1.1, 2.1.4 සහ 2.4.4 යටතේ ඔහුට චෝදනා ගොණුකර ඇත.

එම චෝදනාවලට පිළිතුරු දීම පිණිස බ්‍රහස්පතින්දා (නොවැම්බර් 1 ) සිට ඔහුට දින 14 ක කාලයක් ලබා දී ඇති බව ද අයිසීසීය නිකුත්කළ නිවේදනයක දැක්වේ. ඒ අතරවාරයේ ඔහුට වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ක්‍රීඩා තහනමක් ද පණවා තිබේ.

අඟහරුවාදා (ඔක්තෝබර් 30) එංගලන්තයට එරෙහිව පැවති පුහුණු තරගයේදී ද ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් අතර සිටියේය.

මීට සතියකට පමණ ඉහතදී ජගත් පාලක මණ්ඩලයේ නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රශ්න කරන ලද බව ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කර තිබිණ.

කියවන්න:

මේ අතර දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පිළිතුරු සැපයීම පිණිස සනත් ජයසූරියට පසුගිය ඔක්තෝබර් 15 සිට දින 14 ක කාලයක් ලබාදෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පසුගියදා නිවේදනය කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සනත් ජයසූරියට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මතු සඳහන් චෝදනා දෙක ඉදිරිපත් කර තිබේ.

  • නීති සංග්‍රහයේ 2.4.6 වගන්තියට අනුව - අසමත් වීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම: පිළිගත හැකි හේතුවක් නොමැතිව දූෂණ විරෝධී ඒකකය මෙහෙය වූ කිසිදු පරීක්ෂණයකට සහයෝගය නොදැක්වීම සහ පරීක්ෂණයට අදාළ තොරතුරු සහ/හෝ ලේඛන නිවැරදි ලෙස සහ සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම.
  • නීති සංග්‍රහයේ 2.4.7 වගන්තියට අනුව - දූෂණ විරෝධී නීතිය යටතට ගැනෙන දූෂණයක් හෙළි කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණයට අදාළ හෝ පරීක්ෂණයේ සාක්ෂි විය හැකි වාර්තාවක් හෝ වෙනත් තොරතුරක් ආවරණය කිරීම, වෙනසකට භාජනය කිරීම හෝ විනාශ කිරීම, දූෂණ විරෝධී ඒකකය මගින් ක්‍රියාත්මක කළ පරීක්ෂණයට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම.

එම චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක් මගින් ප්‍රතිචාරය පළ කළ සනත් ජයසූරිය, ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකරන ලෙසට නීතිමය උපදෙස් ලැබී තිබෙන බව සඳහන් කර තිබුණි.

කෙසේ වුවත් තමන්ට එල්ල වී ඇති චෝදනා "තරග පාවා දීම්, තණතිලි වෙනස් කිරීම් හෝ වෙනත් දූෂණ ක්‍රියාවක් සම්බන්ධ ඒවා නොවන බව ප්‍රකාශ කරමි," යනුවෙන් ද ඔහු අවධාරණය කර තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර