20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය: චමරි අතපත්තු "දැඩි අවධානය යොමු කළ යුතු" අතරට

විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය නොවැම්බර් 9 වන දින බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ආරම්භ වේ.

මෙම තරගාවලියට ක්‍රීඩා කරන රටවල් නියෝජනය කරන ක්‍රීඩිකාවන් අතරින් දැඩි අවධානයක් යොමු කළ යුතු ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් හිටපු එංගලන්ත ක්‍රීඩිකාවක වන එබනි රේන්ෆෝර්ඩ් බ්‍රෙන්ට් අදහස් දක්වා තිබේ.

ඇය නම් කර ඇති එම ක්‍රීඩිකාවන් අතර මුලින් ම සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පිළිබඳවය.

"ඇය ඔබව පරාජයට පත් කළ හැකි දරුණු වමත් පිතිකාරිනියක්. ඇය කෙරෙහි ගොඩක් විමසිලිමත් වන්න" එබනි පවසා තිබේ.

"ඇය පසුගිය වසරේ එංගලන්තයේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් රැස් කළා. ඊට අමතරව Big Bash සහ Super League වැනි ක්‍රිකට් තරගාවලිවලට සහභාගි වුණා"

චමරි අතපත්තු යනු කවුද?

Image copyright Www.srilankacricket.lk

ඇය වමතින් පන්දුවට පහර දෙන දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩිකාවක වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරයි.

පන්දු වාර 20 ජාත්‍යන්තර තරග 69කට සහභාගි වී ඇති චමරි, ලකුණු 1162ක් රැස් කර තිබේ.

විදෙස් රටවල ප්‍රධාන පන්දු වාර 20 තරගාවලි නියෝජනය කිරීමට අවස්ථාව හිමි වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාව වන්නේ ද, චමරි අතපත්තුය. ඇය එංගලන්ත සුපර් ලීග් තරගාවලියේදී යෝර්ක්ෂයර් ඩයමන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළ අතර ඔස්ට්‍රේලියා බිග් බෑෂ් තරගාවලියේදී මෙල්බෝර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම නියෝජනය කළාය.

කාන්තා එක්දින ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව චමරි අතපත්තු 9 වන ස්ථානයේ පසුවන අතර, පන්දු වාර 20 පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව ඇය 28 වන ස්ථානයේ පසුවන්නීය.

28 හැවිරිදි චමරි අතපත්තු කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටී. ඇය කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ විය.

Image copyright Www.srilankacricket.lk

අද (නොවැම්බර් 9 ) බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ආරම්භ වන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 10 ක් ක්‍රීඩා කරන අතර පළමු වටය කණ්ඩායම් 5 බැගින් කාණ්ඩ 2 ක් යටතේ තරග පැවැත්වේ.

මෙම තරගාවලිය 'ඒ' කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම, පළමු වටයේදී එංගලන්තය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් තරග වැදීමට නියමිතය.

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය සහ අයර්ලන්තය 'බී' කාණ්ඩය යටතේ තරග වදිති.

අවසන් වරට 2016 වසරේදී විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේදී පැවැත්වුණු අතර, එහිදී මෙවර සත්කාරකත්වය දරන බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම ප්‍රථම වරට ශුරතාව දිනා ගන්නා ලදී.

කියවන්න:

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදානම

Image copyright Chamari Atapattu/Facebook

ප්‍රවේගකාරී පිතිකාරිනියක වන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් මස පළමු වන දින බටහිර ඉන්දීය කොදෙව් වෙත ගොස් මේ වන විට පුහුණුවීම්වල යෙදෙමින් සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායම 10 වෙනිදා සිය පළමු තරගයට ප්‍රබල එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග සහභාගි වන්නේ ලෝක කුසලානයට පෙර පැවැත්වෙන පුහුණු තරග දෙකම පරාජයවී ඇති පසුබිමකය.

පළමු පුහුණු තරගයේ නවසීලන්තය හමුවේත්, දෙවන පුහුණු තරගයේ අයර්ලන්තය හමුවේත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට ලක්විය.

ජාත්‍යන්තර 20-20 කාන්තා ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව කණ්ඩායම මේවන විට 8 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව පරාජය වුණු අයර්ලන්තය සිටින්නේ 10 වැනි ස්ථානයේය.

මෙම තරගාවලියට පෙර සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවති ශ්‍රී ලංකා - ඉන්දියා විස්සයි විස්ස තරගාවලිය ඉන්දියාව 4-0 ක් ලෙස ජය ගත්ත ද එම තරගාවලියේ ශ්‍රී ලංකාව හොඳින් ක්‍රීඩා කළ බව විචාරක මතය විය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව 2018 වසරේ 20 - 20 තරග 13 කට සහභාගි වී ජයග්‍රහණය කර ඇත්තේ තරග 3 ක් පමණි.

"ලොකු විශ්වාසයි තියෙනවා අපිට මේ තරගාවලිය හොඳින් කරන්න පුළුවන් කියලා. අපිට ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න හැකියාවක් තියෙනවා. එදා දවසේ හොඳින් ක්‍රීඩා කරොත්," ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තරගාවලියට පිටත්වයාමට පෙර මාධ්‍ය අමතමින් කියා සිටියාය.

"ශ්‍රේණිගත කිරීම් කියන්නේ අංකයක් විතරයි. මම හිතනවා අපේ කණ්ඩායම හොඳටම සෙල්ලම් කළොත් අපිට ඕනෑ ම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන් කියලා," ඇය පැවසුවාය.

Image copyright Getty Images

පළමු වටයේ ශ්‍රී ලංකා තරග සටහන

නොවැම්බර් 10 - එංගලන්තය සමග

නොවැම්බර් 12 - දකුණු අප්‍රිකාව සමග

නොවැම්බර් 14 - බංග්ලාදේශය සමග

නොවැම්බර් 16දා - බටහිර ඉන්දීය කොදෙව් සමග

"ඒ" කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක සහ "බී" කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 2 අවසන් පුර්ව තරග සඳහා සුදුසුකම් ලබයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර