හර්දික් පාණ්ඩ්‍යා සහ කේ එල් රාහුල්: කාන්තාවන් ගැන අදහස් පළ කළ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට වැඩ වරදී

ඉන්දීය දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන හර්දික් පාණ්ඩ්‍යා සහ කේ එල් රාහුල් තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ, රූපවාහිනී වැඩසටහනක්දී ඔවුන් කාන්තාවන් සම්බන්ධයෙන් පළ කළ අදහස් සැලකිල්ලට ගනිමිනි.

එම තහනම වහා ක්‍රියාත්මක වන පරිදි පනවා තිබූ අතර ඔස්ට්‍රේලියානු සංචාරයට එක්ව සිටින ඔවුන්ට යළි සිය රටට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

මේ පිළිබඳව හර්දික් පණ්ඩ්‍යා සමාව ඉල්ලා ඇති අතර, ඔහු පවසා ඇත්තේ, "වැඩසටහනේ ස්වභාවය අනුව තමන්ට එය කියැවුණු," බවය.

"ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා," බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.

කියවන්න.

25 හැවිරිදි පණ්ඩ්‍යා සහ 26 හැවිරිදි රාහුල් එම අදහස් පළ කර ඇත්තේ, Koffee with Karan නමැති බොලිවුඩ් සිනමා නිෂ්පාදකයෙකු විසින් මෙහෙයවනු ලබන රූපවාහිනී වැඩසටහනක් අතරතුරදීය.

එම රූපවාහිනී වැඩසටහනේ 6 වන අදියර මේ වන විට ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගි වූයේ පළමු වරටය.

හර්දික් පණ්ඩ්‍යා එහිදී තමන් කාන්තාවන් සමග "පැවැත් වූ සම්බන්ධතා කිහිපයක්" පිළිබඳව පවසා ඇති අතර ඔහු පවසා තිබුණේ, කාන්තාවන් මත්පැන් හල්වල හෝ රාත්‍රී සමාජ ශාලාවල සිටිනු දැකීමට තමන් කැමැති බවය.

ඔහු සිය සබඳතා ගැන දෙමාපියන් දැනුවත් කර තිබූ බව ද පවසා තිබිණි.

සාමාජ මාධ්‍ය ඔස්සේ පාණ්ඩ්‍යා සඳහන් කර තිබුණේ, "යමෙකුගේ හිත රිදුණා නම් ඒ හැමෝගෙන් ම සමාව ඉල්ලා සිටින," බවය.

"අවංකව ම, මම ඒ වැඩසටහනේ ස්වභාවය අනුව අදහස් දැක්වුවා පමණයි. කාටවත් අගෞරව කිරීමට හෝ කාටවත් රිදවීමට මම උත්සහ කළේ නැහැ."

ඉන්දීය නායක විරාට් කෝලි ද ඔවුන් දෙදෙනාගේ අදහස් "නුසුදුසු" බව පවසා තිබිණි.

මේ අතර හර්දික් පණ්ඩ්‍යා සහ කේ එල් රාහුල් නොමැතිව ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව ලකුණු 34 ක පරාජයක් ලැබීය.