සාෆ්රාස් අහමඩ්: "ජාතිවාදී වචන" කී පාකිස්ථාන ක්‍රිකට් නායකයාට තරග තහනමක්

Image copyright Getty Images

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩයිල් ෆෙලුක්වයෝට ජාතිවාදී චවනවලින් ඇමතීම හේතුවෙන් පාකිස්ථාන ක්‍රිකට් නායක සාෆ්රාස් අහමඩ්ට තරග 4ක තහනමක් පනවා තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ, ඩර්බන්හිදී පැවති එක්දින ක්‍රිකට් තරගයක් අතරතුර සාෆ්රාස් අහමඩ් ජාතිවාදය සම්බන්ධ අචාර ධර්ම වගන්තියක් උල්ලංඝණය කර ඇති බවය.

මේ තොරතුරුද කියවන්න:

31 හැවිරිදි සාෆ්රාස් අහමඩ් ඒ සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින් පැවසුවේ, "විශේෂ පුද්ගලයෙකු ඉලක්ක කරමින් (එම වචන) භාවිත නොකළ" බවය.

මෙම තහනම හේතුවෙන් පකිස්ථාන නායක සාෆ්රාස් අහමඩ්හට දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරග 2ක් සහ පන්දු වාර 20 තරග 2ක් අහිමි වනු ඇත.

"සාෆ්රාස් ක්ෂණිකව තමන්ගේ වරද පිළිගත්තා. ඒ වගේ ම ඒ ගැන කනගාටුව පළ කරලා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටියා. මේ සියල්ල සලකා ඔහුට සුදුසු තහනමක් පැනවූවා," ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචර්ඩ්සන් පැවසීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලට සාෆ්රාස්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළේ, ඔහු 'කළු' යන අර්ථය සහිත "කාලේ" යන උර්දු වචනය කියන හඬ කඩුල්ලේ රඳවා ඇති මයික්‍රෆෝනයේ සටහන් වී තිබීම හේතුවෙනි.

මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යාපනික වැඩසටහනකට සහභාගි වීමට ද සාෆ්රාස්ට සිදු වනු ඇත.

ඔහු චෝදනාවට ලක්ව ඇත්තේ, ක්‍රිකට් ආචාර ධර්ම සංග්‍රහය අනුව භාෂාවක් භාවිත කරමින්, අභිනය පෑමෙන් හෝ වෙනත් ආකාරයකින් යම් පුද්ගලයෙකුට වර්ගය, ආගම, සංස්කෘතිය, වර්ණය, සම්භවය, ජාතිය හෝ ජනවාර්ගික සම්භවය පදනම් කරගෙන අවඥා කිරීම, අවමන් කිරීම, බිය වැද්දීම, තර්ජනය කිරීම, නින්දා කිරීම යන වගන්තිය උල්ලංඝණය කිරීම හේතුවෙනි.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විරෝධය

ඊට ප්‍රතිචාර වශයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, සිය ආයතනය "ජාතිවාදී අදහස් සහ හැසිරීම්වලට එරෙහිව කිසිදු සමාවක් නොදෙන නමුත්," සාෆ්රාස්ට පැනවූ තහනම සම්බන්ධයෙන් "අතිශය කනස්සල්ල" පළ කරන බවය.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ, සාෆ්රාස් සමාව ඉල්ලා සිටීමෙන් පසු ගැටලුව නිරාකරණය වූ බවය. මේ අතර, ඉදිරි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සමුළුවලදී ජාතිවාදයට එරෙහි වගන්ති වෙනස් කිරීමට අපේක්ෂා කරන බව ද පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබේ.