හකීම් අල් අරායිබි: ඔස්ට්‍රේලියානු සරණාගත පාපන්දු ක්‍රීඩකයාගේ 'ජීවිතය අනතුරේ'

Image copyright Reuters
Image caption අත්අඩංගුවට පත් වූ අවස්ථාව

බහරේන් ජාතික පාපන්දු ක්‍රීඩකයෙකු වන හකීම් අල් අරායිබි නිදහස් කරන ලෙස තායි රජයට බලපෑම් කරන ලෙස ඔහුගේ බිරිඳ ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටී.

25 හැවිරිදි හකීම්, ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය හිමි අයෙකි.

බහරේන් රාජ්‍යය ජාත්‍යන්තර පොලිසියෙන් කළ ඉල්ලීමක් අනුව හකීම් අල් අරායිබි බැංකොක්හිදී අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර එහි බන්ධනාගාරයක රඳවා තිබේ.

බහරේන් රජය පවසා ඇත්තේ, ඔහු තායිලන්තයෙන් පිට කිරීමේ කටයුතු "සිදුවෙමින් පවතින" බවය.

එහෙත්, පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ බීබීසී පුවත් සේවයට පැවසුවේ, සිය සැමියා තායිලන්තයේ සිට බහරේන් වෙත පිටුවහල් කිරීම ඔහුගේ ජීවිතය අනතුරේ හෙළීමක් බවය.

Image copyright AFP
Image caption හකීම් නිදහස් කරන ලෙස ඉල්ලා ඔස්ට්‍රේලියාවේ පැවති විරෝධතාවක්

"මම සෑම රටකින් ම ඉල්ලා සිටිනවා, හකිම්ට උදව් කරන්න කියලා. එයා බහරේන්වලට යැව්වොත් වද හිංසාවන්ට ලක්වෙන්න පුළුවන්. ඔහු ඝාතනය කරන්නත් ඉඩ තියෙනවා," ඇය පැවසීය.

නම හෙළි කිරීමට අකමැති 24 හැවිරිදි ඔස්ට්‍රේලියානු තරුණියක වන ඇය ප්‍රකාශ කළේ, තමන් තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕචාට පෞද්ගලික ආයාචනයක් සකස් කළ බවය.

"ඔහුගේ අනාගතය රැඳී තිබෙන්නේ ඔබ අතේ. කරුණාකරලා මගේ සැමියාට නැවත ගෙදර එන්න උදව් කරන්න," ඇය තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ලියූ ලිපියේ සඳහන් කර තිබේ.

හකීම් අල් අරායිබි නිදහස් කරන ලෙස ඉල්ලා ඇති පාර්ශව අතර, ඔස්ට්‍රේලියානු රජය, ලෝක පාපන්දු සම්මේලනය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ද වෙති.

'අපිට ඔස්ට්‍රේලියාව තුළ ජීවිතයක් තියෙනවා'

හකීම් අල් අරායිබි 2014 වසරේදී ඔස්ට්‍රේලියාවට පළාගොස් ඇති අතර, 2017 වසරේදී සරණාගතභාවය හිමි විය. ඔහු මේ වන විට මෙල්බෝර්න්හි පැස්කෝ වේල් (Pascoe Vale) පාපන්දු සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරයි.

බහරේන්හි පොලිස් ස්ථානයකට පහර දුන් බවට වූ නඩුවකට ඔහු පෙනී නොසිටි අතර, 2014 වසරේදී ඒ සම්බන්ධයෙන් ඔහුට වසර 10ක සිර දඬුවමක් පැනවිණි.

කෙසේ වෙතත්, එම චෝදනා ප්‍රතික්ෂේප කරන හකීම් පවසන්නේ, අදාළ පහර දීම සිදුවූ අවස්ථාවේ තමන් රූපවාහිනිය ඔස්සේ විකාශය වෙමින් පැවති පාපන්දු තරගයක ක්‍රීඩා කරමින් සිටි බවය.

ඔහුගේ බිරිඳ බදාදා (ජනවාරි 30) පැවසුවේ, තමන් සිය සැමියා සමග මධුසමය සඳහා පසුගිය නොවැම්බර් 27 වන දා බැංකොක් නුවරට ගිය අවස්ථාවේ, ගුවන් තොටුපොළ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවය.

අත්අඩංගුවේ පසුවූ පළමු දින කිහිපයේ තමන් සිය සැමියා සමග සිටි බවත් පසුව සැමියා වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමෙන් පසුව තමන් යළි ඔස්ට්‍රේලියාවට පැමිණි බවත් ඇය සඳහන් කළාය.

ඇය පැවසුවේ, ඔවුන් දෙදෙනාට කතාබහ කිරීමට තායි නිලධාරීන් ඉඩ නොදුන් බවය.

"ගෙයක් අරගෙන අපිට කියලා පවුලක් ගොඩ නගන්න අපි සැලසුම් කරල හිටියේ," ඇය පැවසීය.

"එයාට රැකියාව තියෙනවා. ක්‍රීඩාව තියෙනවා. අපිට මෙහේ ජීවිතයක් තියෙනවා."

ලන්ඩන්හි බහරේන් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, "බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ සම්බන්ධයෙන්" පැවති ස්වාධීන අධිකරණ ක්‍රියාමාර්ගයක් තුළින් ඔහු වැරදිකරු වී ඇති බවය.

තානාපති කාර්යාලය නිවේදනය කළේ, ඔහුට එරෙහි තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඔහු බහරේන් වෙත පැමිණිය යුතු බවය. "ඉදිරි ක්‍රියා මාර්ග සඳහා ඔහුට ඇති අයිතිය අනුව ඔහුගේ ආරක්ෂාව තහවුරු කරලයි තියෙන්නේ"

ජාත්‍යන්තර අවධානය

මේ සතිය මුලදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කර තිබුණේ, හකීම්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ප්‍රදානය කර ඇති හෙයින් ඔහු බහරේන් වෙත පිටුවහල් නොකරන ලෙස ඉල්ලා සිටින බවය.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ස්කොට් මොරිසන්ගේ ඉල්ලීම සලකා බලා ඇති නමුත්, එම ප්‍රශ්නය තායිලන්ත අධිකරණය හමුවේ විසඳාගත යුතුව ඇතැයි පවසා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

හකීම් අල් අරායිබි බහරේන් බලධාරීන් දැඩි ලෙස වාචිකව විවේචනය කර ඇති අතර, හියුමන් රයිට්ස් වොච් ආයතනය පවසන්නේ, ඔහුගේ සොහොයුරාගේ දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් හකීම්, රජයේ ඉලක්කයක් විය හැකි බවය.

පසුගිය වසරේදී හකීම් හියුමන් රයිට්ස් වොච් ආයතනයට දැනුම් දී තිබුණේ, 2012 වසරේදී පැවති අරාබි විරෝධතාවලින් පසුව තමන් බහරේනයේදී වද හිංසාවන්ට ලක්වූ බවය.

මේ අතර, සිය සැමියා නිදහස් කිරීම සඳහා බලපෑම් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ නවසීලන්ත සහ කැනඩා නායකයින්ට ද ලිපි යොමු කර තිබේ.