ශ්‍රී ලංකා ක්‍රිකට්: වසර 37ක් තුළ ටෙස්ට් නායකයින් 17යි, පසුගිය වසර දෙකට පමණක් සිව් දෙනෙක්

Image copyright Getty Images

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පරීක්ෂා කිරීමේදී මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇති නායකයින් සංඛ්‍යාව 17 දෙනෙකි.

ඉන්, පසුගිය වසර දෙක හැර අනෙක් වසර 35 සඳහා ම නායකයින් ලෙස පත් කර ඇත්තේ, ක්‍රීඩකයින් 13 දෙනෙකු පමණි.

2017න් පසු ගතවූ වසර දෙකක කාලය තුළ පමණක් ටෙස්ට් නායකයින් සිව් දෙනෙකු පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයින් අතර පසුගිය දා ඇති වූ මත ගැටුම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම "කල්ලිවලට බෙදී" ඇතැයි එම කණ්ඩායමේ ක්‍රීඩකයෝ ම මැසිවිලි නගති.

මෙම අර්බුදය විසඳීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ද උත්සහ දරමින් සිටී.

කියවන්න:

වසර දෙකට නායකයින් 4 දෙනෙක්

1982 වසරේ පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ කණ්ඩායමේ සිට 2017 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දී ඇත්තේ, ක්‍රීඩකයින් 13 දෙනෙකු පමණි.

එහෙත්, 2017 වසරේ ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වීමෙන් පසු ගතවූ වසර එක හමාරක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකයින් 4 දෙනෙකු පත් කර තිබේ.

දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, සුරංග ලක්මාල් සහ දිමුත් කරුණාරත්න ඔවුන් සිව් දෙනාය.

1981 සිට 2017 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ නායකයින්

තරග ජය පරාජය ජය පරාජයෙන් තොර
බන්දුල වර්ණපුර (1981 - 1983) 04 00 03 01
දුලිප් මෙන්ඩිස් (1982 - 1987) 19 02 08 09
සෝමචන්ද්‍ර ද සිල්වා (1982 - 1983) 02 00 02 00
රන්ජන් මඩුගල්ලේ (1987 - 1988) 02 00 02 00
අර්ජුණ රණතුංග (1989 - 1999) 56 12 19 25
අරවින්ද ද සිල්වා (1991 - 1999) 06 00 04 02
හෂාන් තිලකරත්න (1998 - 2004) 11 01 04 06
සනත් ජයසූරිය (1999 - 2003) 38 18 12 08
මාවන් අතපත්තු (2002 - 2006) 18 08 06 04
මහේල ජයවර්ධන (2005 - 2013) 38 18 12 08
කුමාර් සංගක්කාර (2009 - 2011) 15 05 03 07
තිලකරත්න ඩිල්ෂාන් (2011 - 2012) 11 01 05 05
ඇන්ජලෝ මැතිව්ස් (2012 - 2017) 34 13 15 06

2017 වසරේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වීමෙන් පසු පත් කරන ලද ටෙස්ට් නායකයින් මෙසේය.

තරග ජය පරාජය ජය පරාජයෙන් තොර
රංගන හේරත් (2016 - 2017) 05 03 02 00
දිනේෂ් චන්දිමාල් (2017 - 2019) 17 04 08 05
සුරංග ලක්මාල් (2018 - 2018) 05 03 02 00
දිමුත් කරුණාරත්න (2019 - ????) 00 00 00 00

මෙම සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩි ම තරග සංඛ්‍යාවකට නායකත්වය දුන් ක්‍රීඩකයා වන්නේ, අර්ජුණ රණතුංගය. ඔහු තරග 56කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබේ.

කෙසේ වෙතත්, තරග ජය ගැනීමේ ඉහළ ම ප්‍රතිශතය වන 60%ක් සටහන් වන්නේ, රංගන හේරත් සහ සුරංග ලක්මාල් යටතේය. එහෙත්, ඔවුන් නායකත්වය දී ඇත්තේ, තරග 5 බැගින් පමණි. ඉන් 3 බැගින් ජය ගැනීමට ඔවුන් දෙදෙනා නායකත්වය දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

Image copyright Sri Lanka Cricket
Image caption ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුවූ අවස්ථාව

"නායකයෙක් හැදුවෙ නැති එක තමයි ප්‍රධාන ප්‍රශ්නය"

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩි ම ටෙස්ට් ක්‍රිකට් තරග සංඛ්‍යාවකට නායකත්වය දී ඇති හිටපු ටෙස්ට් නායක අර්ජුණ රණතුංග පසුගිය පෙබරවාරි 06 වනදා බීබීසී සිංහල සේවය සමග සජීවී ෆේස්බුක් සංවාදයකට එක් වෙමින් කණ්ඩායමේ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

"අපි නායකයෙක් හැදුවෙ නැති එක තමයි ප්‍රධාන ප්‍රශ්නය. එතකොට තමයි මේ ප්‍රශ්න හුඟාක් ඔඩු දුවන්නේ. හැබැයි ඒත් අපි කල්පනා කරලා එක නායකයෙක් එක්ක ටික කාලයක් ගියා නම් ප්‍රශ්නය විසඳගන්න තිබුණා. ඒත් තේරීම් කමිටුව බලන්නේ, ඉක්මනට ප්‍රතිඵල නෙළා ගන්න. ක්‍රිකට් ක්‍රීඩාවේ එහෙම කරන්න හරි අමාරුයි," ඔහු පැවසීය.

"අපිට දැක්මක් තියෙනවා නම්, යම් ක්‍රීඩකයෙක් දක්ෂයි කියලා, ඒ ක්‍රීඩකයා ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙනියන එක තේරීම් කමිටුවේ ප්‍රධාන දෙයක්. මෙතන තියෙන ප්‍රශ්නෙ තමයි නායකයෙක් නෑනෙ. නායකයෙක් හිටිය නම් දක්ෂ ක්‍රීඩකයෝ ඉස්සරහට අරගෙන යන්න තිබුණා. නායකයත් විශ්වාස නැති තත්ත්වයට ක්‍රිකට් පරිපාලනය පත් කරලා තියෙනවා. ඒක තමයි දුර්වලතාව අපිට මුහුණ දෙන්න වෙලා තියෙන."

දුලිප් මෙන්ඩිස් සහ රෝයි ඩයස් කණ්ඩායම මෙහෙයවන සමයේ තමන් සහ අරවින්ද නායකත්වයට සූදානම් කළ බවත් තමන් නායකත්වය භාර ගත් පසු ද නායකත්වයට සුදුසු ක්‍රීඩකයින් ඒ සඳහා සූදානම් කළ බවත් ඔහු සඳහන් කළේය.

අර්ජුණ රණතුංග ප්‍රකාශ කළේ, "මහේල සහ සංගක්කාරගේ කාලයෙන් පසු ක්‍රීඩකයින් ඉදිරියට ගැනීමක් සිදු නොවූ" බවය.

"මං දොසක් කියනවා නෙවේ. මහේල, සංගක්කාර නායකත්වය ගත්තට පස්සේ කිසි ම ක්‍රීඩකයෙක් අපි බිල්ඩ් අප් කළේ නැහැ. එතනදි තමයි මම දකින විදිහට වැරැද්ද වුණේ. මං හිතනවා, සමහර විට මහේලටයි සංගක්කාරටයි පිතිකරුවො හැටියට ඒගොල්ලෝ හුඟක් ලකුණු ගන්න ඕන හින්දා ඒ දෙන්නාගෙන් ම තරග වෙනස් කරන්න හැදුවා මිස තරුණ ක්‍රීඩකයෙක්ව ආදේශ කරන්න බැරි වුණා. නායකයෝ කියන්නේ රෑ උදේ වෙනකොට බිහි වෙන අය නෙවෙයි."

"චෝදනාව පිළිගන්න බැහැ" - මහේල ජයවර්ධන

කෙසේ වෙතත්, 2017 වසරේදී බීබීසී සිංහල සේවය සමග මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන, අර්ජුණ රණතුංග එල්ල කරන මෙම චෝදනාවට ප්‍රතිචාර දැක්වීය.

"මං හිතන්නේ නෑ අපි කොහොම ද එහෙම දෙයක් කරන්නේ කියන එක. අපිට තිබුණ වැදගත් ම දේ තරග ජය ගන්නේ කොහොම ද කියන එක. අපි ක්‍රීඩකයින්ව හැදුවා. ක්‍රීඩකයින්ව පෝෂණය කළා. ඔවුන්ට සුදුසු තැන දුන්නා. ඒ වගේ ම සමහර තැන්වලදී අපි පිතිකරු ලැයිස්තුවල වෙන වෙන තැන්වලට ගිහින් ගහලා තියෙනවා. ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා," මහේල ජයවර්ධන පැවසීය.

නායකත්ව ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන් ම හිටපු ක්‍රිකට් පරිපාලකයෙකු වන විනෝදන් ජෝන් ද බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ, "කණ්ඩායම ශක්තිමත් වීමට නම් ස්ථිර නායකයෙකු සිටිය යුතු" බවය.

තවත් කියවන්න: