ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක එමිල්යානෝ සලාගේ සිරුර හඳුනා ගැනේ

එමිලිආනෝ සාලාගේ නැවත නොයෙන ගමන Image copyright AFP

ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක එමිල්යානෝ සලා සහ ඔහුගේ ගුවන් නියමුවා සමඟ අතුරුදහන් වූ ගුවන්යානයේ සුන්බුන් අතර තිබී හමු වූ මළසිරුර එමිල්යානෝ සලාගේ බවට හඳුනා ගෙන තිබේ.

මේ බව පොලිසිය බ්‍රහස්පතින්දා (පෙබ 07) රාත්‍රියේ සනාථ කළේය.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් කාඩිෆ් සිටි පාපන්දු කණ්ඩායම පැවසුවේ, "අපගේ හද පිරි කණගාටුව සහ සංවේගය එමිල්යානෝ සලාගේ පවුල වෙත පළ කරනවා. ඔහු සහ ඩේවිඩ් අපගේ සිත් තුළ හැමදා තියේවි," යනුවෙනි.

එසේම ලොව පුරා පාපන්දු ක්‍රීඩකයින් රැසක් එමිල්යානෝ සලාගේ මරණය ගැන තම ශෝකය පළ කර තිබුණි.

ගුවන් අනතුරු පරීක්ෂණ ඒකකය පැවසුවේ "අභියෝගාත්මක තත්වයන්" යටතේ සිදු කෙරුණු මෙම මෙහෙයුම සඳහා විශේෂඥයන් ද යොදා ගත් බවය.

Piper Malibu N264DB නම් වූ මෙම සැහැල්ලු යානය ඉංග්‍රීසි ඕඩයට ඉහළින් පියාසර කරමින් තිබිය දී එහි නියමුවා සහ 28 හැවිරිදි පාපන්දු ක්‍රීඩක සලා සමඟ අතුරුදහන් වූයේ මීට දෙසතියකට ඉහතදී ය.

එහි සුන්බුන් සොයා ගනු ලැබුණේ ගර්න්සි ප්‍රදේශයට එපිට මුහුදු පතුලෙනි.

Image copyright PA
Image caption කණගාටුවට පත් කාඩිෆ් පාපන්දු ලෝලීන්

ඛේදනීය සමුගැනීම

කාඩිෆ් පාපන්දු කණ්ඩායම විසින් පවුම් මිලියන 15ක් ගෙවා මෙම පාපන්දු ක්‍රීඩකයා මිලදී ගනුලැබූ බව නිවේදනය කරනු ලැබුවේ මෙම අනතුර සිදුවීමට දින දෙකකට පෙරදී ය.

එම නිවේදනයෙන් අනතුරුව, ඔහු ඊට පෙර ක්‍රීඩා කරමින් සිටි නාන්ට් (Nantes) කණ්ඩායමේ සහෝදර ක්‍රීඩකයන් හමුවීම සඳහා ප්‍රංශයට ගියේය. අනතුර සිදුවූයේ ආපසු පැමිණෙමින් සිටියදී ය.

සුන්බුන් අතර තිබී සොයා ගත් මළසිරුර මේවන විට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර එහි අනන්‍යතාව පිළිබඳ විස්තර තවමත් හෙළිදරව් කර නොමැත.

යානය සොයා සිදුකෙරුණු නිල මෙහෙයුම් ජනවාරි 24වන දා අතහැර දමන ලද්දේ "කිසිවෙකු ජීවතුන් අතර සිටිය හැකි බවට අපේක්‍ෂා කිරීම ඉතා අසීරු" බව ගර්න්සි වරායේ ප්‍රධානියා ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

කෙසේ නමුත් පෞද්ගලික ධනය යොදවා සිදු කරන ලද මෙහෙයුමකින් යානයේ සුන්බුන් සොයා ගැනීමට හැකි විය.

යානය සොයාගනු ලැබීමෙන් අනතුරුව අජන්ටිනාවේ ක්‍රෝනිකා රුපවාහිනී සේවය හා සම්බන්ධ වෙමින් සාලා ගේ පියා වූ හොරාෂියෝ පැවසුවේ, "මට මෙය විශ්වාස කළ නොහැකියි. මේක සිහිනයක්. නරක සිහිනයක්. මගේ බලාපොරොත්තු සුන්වුනා".

මේ අතර සලා ක්‍රීඩා කළ ප්‍රංශයේ නාන්ට් කණ්ඩායමේ බලධාරීන් කාඩිෆ් සිටි කණ්ඩායමෙන් තමන්ට ලැබිය යුතු පවුම් මිලියන 15 ගෙවන ලෙස බලකර සිටී.

එමිල්යානෝ සලා එම කොන්ත්‍රාත්තුවට අත්සන් තබා ඇති නමුත් 'කාඩිෆ් සිටි' කණ්ඩායම වෙනුවෙන් එක් දිනක් හෝ ක්‍රීඩා කිරීමට ඔහුට නොහැකි විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර