ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය: වාද විවාදවලින් ඇරඹී සුහදව අවසන් වූ 'ක්‍රීඩා ඇමති - ක්‍රීඩක හමුව'

Image copyright Sports Ministry - Sri Lanka

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා පරිපාලකයන් අතර ඇති වී තිබෙන "උග්‍ර ගැටුම්" ගැන පසුගිය සති කිහිපයක පුරා විවිධ වාර්තා පළ විය.

මෙම ගැටුම් සමනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඒ අවස්ථාවේ ඔස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම හා පුහුණුකරුවන් පවා හමු වී සාකච්ඡාවක නිතර විය.

එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතර ඇති වී තිබෙන මත ගැටුම් අවසන් කිරීමේ අරමුණින් සෙනසුරාදා (පෙබරවාරි 09) රාත්‍රියේ කොළඹදී සාකච්ඡාවක් පැවැත්විණි.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්, එක්දින නායක ලසිත් මාලිංග, වරින් වර අවස්ථා කිහිපයකදී නායකත්වය දැරූ තිසර පෙරේරා හා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කැඳවා තිබිණි.

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දුට මෙම සාකච්ඡාව මීට පෙර පැවැත්වීමට අවශ්‍යව තිබුණත් බංගලාදේශයේ පැවති විස්සයි විස්ස තරගාවලියකට ක්‍රීඩා කරමින් සිටි තිසර පෙරේරා මේ සාකච්ඡාවට සම්බන්ධ කර ගැනීම අත්‍යවශ්‍ය වීම නිසා එය තිසර පෙරේරා ශ්‍රී ලංකාවට පැමිණි පෙබරවාරි 9 වන දා දක්වා කල් තැබිණි.

තිසර පෙරේරා ශ්‍රී ලංකාවට පැමිණ පැය කිහිපයක් ගත වීමට පෙර ම ක්‍රීඩා අමාත්‍යවරයා මෙම සාකච්ඡාව කැඳවීම මෙම ක්‍රීඩකයන්ගේ මත ගැටුම අවසන් කිරීමේ වැදගත්කම විදහා පාන්නකි.

ලසිත් මාලිංග සහ තිසර පෙරේරාගේ බිරින්දෑවරුන් අතර සමාජ මාධ්‍ය තුළ සිදුවූ බව පැවසෙන මත ගැටුම් ගැන තිසර පෙරේරා ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීමත් සමග එම ගැටලුව ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවිවල පවා වාර්තා විය.

ඊට අමතරව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් හා ලසිත් මාලිංග අතර ද කලක පටන් මත ගැටුමක් ඇති බව ප්‍රසිද්ධ රහසක් විය. විශේෂයෙන් ම දෙදෙනා කණ්ඩායමේ නායකත්වය දරන සමයේ අනික් ක්‍රීඩකයාට කණ්ඩායමේ ස්ථානය අහිමි වීම මූලික කර ගනිමින් මෙම මත ගැටුම නිර්මාණය වී තිබිණි. ක්‍රීඩා අමාත්‍යවරයා ඇන්ජලෝ මැතිව්ස් මෙම සාකච්ඡාවට කැඳවා තිබුණේ දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරා මෙම ගැටලු ගැන ඔහු තුළ තිබූ අවබෝධය නිසාය.

මේ තොරතුරුද කියවන්න:

"ඉතා හොඳ සාකච්ඡාවක්"

ක්‍රීඩා අමාත්‍යාංශය තුළ සෙනසුරාදා රාත්‍රියේ පැවති සාකච්ඡාව විවිධ වාද විවාද, බහින් බස්වීම්වලින් ආරම්භ වුව ද, පසුව ඉතා හොඳ සුහද එකඟතාවකින් අවසන් වූ බව බීබීසි සිංහල සේවයට වාර්තා වේ.

"ඉතා හොඳ සාකච්ඡාවක්, මේ ඇති වෙලා තියෙන මත ගැටුම් සමනය කර කණ්ඩායමක් ලෙස ඉදිරියට යන ආකාරය තමයි මේකේ අරමුණ වුණේ, පැය දෙකකට ආසන්න කාලයක් අපි සාකච්ඡා කළා" අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සාකච්ඡාව ගැන බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

"විවිධ කරුණු ඉදිරිපත් වුණා, කණ්ඩායමක් ලෙස එකට ක්‍රීඩා කිරීමේ වැදගත්කම ඔවුන් දන්නවා, අපි හොඳ තැනකින් සාකච්ඡාව අවසන් කළා " අමාත්‍යවරයා පැවසීය.

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන එක්දින තරගාවලියට පෙර නැවත මෙම ක්‍රීඩකයන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

මෙම හමුවට එක්වූ ක්‍රීඩකයෙකු බීබීසි සිංහල සේවයට පැවසුවේ, එකිනෙකා තමන්ට ඇති ගැටලු මුහුණට මුහුණ ලා ඉදිරිපත් කර මෙහිදී විවෘතව සාකච්ඡා කළ බවය.

මේ අතර, ශ්‍රී ලංකා එක්දින නායකයා ලෙස ලසිත් මාලිංගව ම තබා ගන්නවා ද යන්න ඉදිරි සතියේ රැස්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කිරීමට නියමිතය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙකු බීබීසි සිංහල සේවයට පැවසුවේ, පෙබරවාරි 21 වන දා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් ජය ගන්නා පාර්ශවය අනුව ඉදිරි වෙනස්කම් සිදුවිය හැකි බවය.

ක්‍රිකට් නිලවරණය

මෙවර ක්‍රිකට් නිලවරණය සඳහා හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ඉදිරිපත් නොවුවත් ඔහුගේ සහය ඇති කණ්ඩායමක් ඉදිරිපත්ව සිටී. අනික් පාර්ශවය වන්නේ හිටපු සභාපති ජයන්ත ධර්මදාස, නිශාන්ත රණතුංග, කේ.මතිවානන්, අමාත්‍ය අර්ජුණ රණතුංග ඇතුළු පිරිසය.

අමාත්‍ය අර්ජුණ රණතුංග පසුගිය දා බීබීසි සිංහල ෆේස්බුක් සජීවී සංවාදයකට එක්වෙමින් පැවසුවේ, ක්‍රිකට් නිලවරණය ජය ගතහොත් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිපාලනය භාර ගන්නා බවය.

මෙවර නිලවරණයට තිලංග සුමතිපාල පාර්ශවයෙන් සභාපති ධූරයට තරග කරන මොහාන් ද සිල්වාගේ සහ උප සභාපති ධූරයට තරග කරන රවින් වික්‍රමරත්නගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.

මෙයට විරෝධය පළ කරමින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට එම දෙපළ තීරණය කර තිබෙන බව වාර්තා වන අතර මේ හේතුවෙන් ක්‍රිකට් නිලවරණය තවදුරටත් කල් යා හැකි බවට වාර්තා පළ වෙමින් තිබේ.

තවත් තොරතුරු: